ගුවන් හමුදාවට අයත් PT6 පුහුණු ගුවන් යානය අද (07) උදෑසන 11.27ට චීන වරාය ගුවන් පථය ආසන්නයේ අනතුරට ලක්වන අයුරු ජංගම දුරකථනයක පටිගත වී තිබේ.
මෙම අනතුරින් ගුවන් නියමු වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් සහ පියාසර නිලධාරි (ඉංජිනේරු) පෙෂාන් වර්ණසූරිය ජීවිතක්ෂයට පත්වූහ.

වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකුවන අතර පියාසර නිලධාරි පෙෂාන් වර්ණසූරිය ද කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙයකි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ පුහුණු ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව තිබිණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙම අනතුර සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ගුවන් හමුදාව අද සවස නිවේදනයක් ද නිකුත් කළේය.
එම නිවේදනය මෙසේය.
අනතුරට පත් ගුවන් යානය පිළිබද විමර්ෂණයට ගුවන් හමුදාධිපති තුමන් විසින් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT – 6 වර්ගයේ ගුවන් යානයක් අද දින උදෑසන (2023 අගෝස්තු මස 07 වන දින) ගුවන් හමුදා චීනවරාය කදවුරු ප‍්‍රදේශයේ දි අනතුරකට ලක්වී ඇති අතර එම ගුවන් යානයේ ගමන්ගත් නිළධාරින් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇත. මෙම ගුවන් අනතුරින් පසු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් අනතුර සිදුවු ස්ථානයේ නිරික්ෂණය කිරිමෙන් අනතුරුව මෙම ගුවන් අනතුර පිළිබදව වැඩිදුර පරික්ෂණය කිරිම සදහා විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කරන ලදි.
මෙම ගුවන් යානය පෙරවරු 11.25 ගුවන් ගතවී ඇති අතර පෙරවරු 11.27 පමන අනතුරට ලක්ව ඇත. එහිදි ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කරනු ලැබු විංග් කමාන්ඩර් තරිදු හේරත් හා ගුවන් යානා ඉංජිනේරු නිළධාරි ෆ්ලයින් ඔෆිසර් පෙෂාන් වර්ණසුරිය යන නිළධාරින් මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්වූ විංග් කමාන්ඩර් තරිදු හේරත් කුරුණැගල මලියදේව මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වේ. ඔහු 2006 වර්ෂයේ ගුවන් නියමුවකු ලෙස ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට එක්ව ඇති අතර දරුවන් තිදෙනෙකුගේ පියකුද වේ. ෆ්ලයින් ඔෆිසර් පෙෂාන් වර්ණසුරිය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර ඔහු 2017 වසරේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බැඳී ගුවන් යනා ඉංජිනේරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව ඇත.