තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුතුරාජාට කළ නොසැළකිල්ලෙන් ලංකාවට වූ අපහාසය ගැන රජයේ අවධානය

    මුතුරාජාට කළ නොසැළකිල්ලෙන් ලංකාවට වූ අපහාසය ගැන රජයේ අවධානය

    මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා යළි තායිලන්තයට රැගෙනයාම නිසා ලංකාවට දෙස් විදෙස්හි වශයෙන් ලැබුණු අප්‍රසාදය පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අවධානය යොමුවී තිබේ.

    මෙම හස්තියා නැවත තායිලන්තයට ගෙන ගියේ කොන්දේසි සහිතව ද? යන්න සහ ‍එයට හේතු වු කරුණු පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරියගෙන් කරුණු විමසා සිටින ලදී.

    එහි දී අනාවරණය වු ආකාරයට 2001 වර්ෂයේ දී තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මුතුරාජා හස්තියා සන්නස් පත්‍රයක් මඟින් අළුත්ගම කන්දේ විහාරයට පෞද්ගලික පරිහරණය සඳහා ලබා දී ඇත.

    මෙම හස්තියා වන සත්ව හා වෘක්ෂලතා පනත යටතේ හීලෑ ඇතෙකු ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක 178 ගොනුව යටතේ යටතේ ලියාපදිංචි කර ඇති අතර ඉන්පසුව පෞද්ගලික දේපලක් ලෙස සලකා ඇති බැවින් ඉන්පසු මෙම කරුණ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ පාලනයෙන් බැහැරව ඇත.

    මෙම ඇතා බලා ගැනීමේ දී සිදු වී ඇති අඩුපාඩු හේතුවෙන් ඇතාගේ සෞඛ්‍ය පිරිහී ඇති බවත්, ඒ මත පදනම්ව තායිලන්තයේ රාජ්‍ය නොවන සංවිධාන, සමාජ මාධ්‍ය නැවත ඇතා තායිලන්තයට ගෙන්වා ගන්නා ලෙස එරට රජයෙන් සහ මෙරට සිටින තායිලන්ත තානාපතිගෙන් ඉල්ලා ඇත.

    ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තායිලන්ත තානාපතිගෙන් ලද ඉල්ලීම්වලට අනුව මේ සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මැදිහත් වු අතර ඇතා නැවත තායිලන්තයට ගෙන යනතුරු මුලික ප්‍රතිකාර කටයුතු ලෙස ඇතාගේ කකුල්වල පිටුපස තිබු තුවාලවලට ප්‍රතිකාර කර 90% වඩා සුව කරන ලදී.

    එහෙත් ඇතාගේ ඉදිරිපස කකුල්වල ඇති තුවාල සුව වීමට කාලයක් ගත වන අතර මෙරටට වඩා තායිලන්තයේ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් ඇති බැවින් නැවතත් සුව වු පසු ඇතා කන්දේ විහාරයට භාරදෙන බවට එහි නායක හාමුදුරුවන්ට පොරොන්දු වී තායිලන්ත රජය විසින් රුපියල් මිලියන 220ක පමණ මුදලක් වැයකර වෙනම ගුවන්යානයකින් නැවත ඇතා තායිලන්තයට ගෙන යන ලදී.

    එහෙත් තායිලන්තයේ පරිසර අමාත්‍යවරයා මුතුරාජා හස්තියා යළිත් මෙරටට ලබා නොදෙන බව පැවසීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියක් මේ සිදු වීම තුළින් ඇති වු බැවින් මේ සම්බන්ධයෙන් සැබෑ ලෙසම වගකිව යුතු රජයේ ආයතනය පිළිබඳව කාරක සභාව විමසා සිටින ලදී.

    මෙහි දී වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය පවසා සිටින ලද්දේ ඇතා පෞද්ගලික පරිහරණයට විහාරස්ථානයකට ලබා දී ඇති බැවින් ඇතාගේ වගකීම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ වගකීමෙන් බැහැර වන බවය.
    විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලද දැනුම් දීමට අනුව ඇතා ආපසු රැගෙන යාමට අවශ්‍ය පහසුකම් පමණක් තම අමාත්‍යාංශය සලසා දුන් බව ය.

    එසේ වුව ද, කාරක සභාවේ සභාපති පවසා සිටියේ අලි ඇතුන් බැලීමට විදේශවල සිට සංචාරකයින් පවා පැමිණෙන, අලි ඇතුන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අප රටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඇතා බලා ගැනීමට අපහසු වීම ගැටලුවක් බව ය.

    මෙහි දී බලධාරීන් පවසා සිටියේ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ සහාය නිසි ලෙස ලබාගෙන ඒ සඳහා පහසුකම් සැලසීමට හැකියාව තිබුණ ද, තායිලන්ත රජයේ සහ එරට වැසියන්ගේ දැඩි බලපෑම මත ඇතා නැවත තායිලන්තයට ගෙනයාමට සිදුවු බව ය.

    වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තා සලකා බැලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අදාළ ආයනවල අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පසුගියදා (18) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳව සාකච්ඡා විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to Gamini PereraCancel reply

    spot_img
    spot_img