දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා අද (29) කොළඹදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමග සිදු කළ සාකච්ඡාව පිළිබඳව ද කරුණු පැහැදිළි කළේය.
එසේම ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් විදාහ දැක්වෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT), වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම යන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් විය.
ශ්‍රම වෙළඳපොළ ඉලක්ක කරගත් ආර්ථිකයක සිට අධි තාක්ෂණික ආර්ථිකයක් දක්වා පරිවර්තනය වීමේ අපේක්ෂාවෙන්පසුවෙන ශ්‍රී ලංකාවේ අධි තාක්‍ෂණික කර්මාන්ත ආශ්‍රිත ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඒ සඳහා ජපාන ආයෝජකයින් දිරි ගැන්වීමට කටයුතු කරන බව ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දියන් සාගර කලාපය සාමකාමී සහ ස්ථාවර කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා එක්ව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් කලාපීය සහ ගෝලීය ගැටළු රැසක් පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළහ.
ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතාගේ ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකාමි මනබු , අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටකා, ජාත්‍යන්තර සහයෝගිතා අධ්‍යක්ෂ ජනරාල් එන්ඩෝ කසුයා සහ ජපාන විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ඔකානෝ යුකිකෝ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකෝෂි අමාත්‍යවරයාගේ විධායක සහකාර ටොමෝසබුරෝ එසාකි, නිරිතදිග ආසියානු කටයුතු අංශයේ අධ්‍යක්ෂ ටාරෝ ෂුට්සුමි යන මහත්වරුඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජපාන විදේශ අමාත්‍යවරයා අද දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ද හමුවී සාකච්ඡා පවත්වා තිබුණි. (ඡායාරූප -චේතක අඹන්පොළ)