fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාල්ල මහින්දෙන් ජිවිතාරක්ෂක පාඩම උගත් පුංචි කල්ය රාජකීය මවුන්ට්බැටන් පදක්කම දිනු ලොව...

    ගාල්ල මහින්දෙන් ජිවිතාරක්ෂක පාඩම උගත් පුංචි කල්ය රාජකීය මවුන්ට්බැටන් පදක්කම දිනු ලොව ළාබාලතම විරුවා වෙයි

    දියේ ගිලී සිදුවන අනතුරු බොහෝ විට කෙළවර වන්නේ මරණයෙනි. තමන්ගෙ ජිවිතය පරදුවට තබා තවකෙකුගේ ජීවිතය බේරා දීමට ඉරිපත්වීමම පරිත්‍යාගයකි.

    එවැනි පිම්මක අනතුරට පත් අයගේ ජිවිතය මෙන්ම බේරාගැනිමට ඉදිරිපත්වන පරිත්‍යාගශීලියාගේ ජීවිතය යන දෙකම ඇත්තේ මරණය අභියසයි.

    මෙවැනි ක්‍රියාදාමයන් තුළ ජීවිතයක් බේරා ගැනීම සෑම විටම ත්‍රාසජනක ක්‍රියාවකි. ජීවිතාරක්ෂකයකුට පවා අපහසු ප්‍රචන්ඩ රළ ගෙඩි මත පිහිනායමින් තම එකළොස් හැවරිදි සහෝදරයා බේරාගන්නා 13 හැවරිදි කල්යගේ නිර්භීත හා පරාර්ථකාමී ක්‍රියාව ලොව වීරත්වයෙන් පිදුම් ලබන්නේ ඒ නිසාය.

    දිනය 2022 වසරේ අගෝස්තු 27 වැනිදායි.

    13 හැවිරිදි කල්ය කන්දෙගොඩ ගමගේ නවසීලන්තයේ ක්‍රිස්ටල්ස් වෙරළ තීරයේ නිවෙස ආසන්නයේ ඇති මුහුදු වෙරළේ සිට ඇත. 

     සොයුරන් දෙදෙනා වෙරළ අද්දර රළ පාගමින් සිටින අතරතුර එක් රළ පහරකට හසුව බාල සොහොයුරා ගසාගෙන ගොස් තිබේ. ඉන්පසු පැමිණි තවත් රළ පහර දෙකක් නිසා සොහොයුරා මීටර 60ක් පමණ ඈතට ඇදී ගියේය.

    මෙහිදී පිහිනුම් දක්ෂතා තිබෙන කිත්මි කිහිප වතාවක්ම ප්‍රචණ්ඩ රළ පරදා ගොඩබිම දෙසට පිහිනීමට උත්සාහ දැරුවද  එය ව්‍යාර්ථ වී තිබේ.

    වෙරළට පිහිනා සිය සොහොයුරා නොමැතිබව දුටු කල්ය සිය මව දෙසට හැරී, “අම්මේ මම යනවා මල්ලිව බේරාගන්න. සමහර විට මම නොඑන්නත් පුළුවන්” යැයි පවසා ප්‍රචණ්ඩ රළ මතට යළි පැන තිබේ.

    ඒ වනවිට එහි එක් රළක් මිටර් 3ක් පමණ උසින් වෙරළ සිපගනිමින් තිබි ඇත.

    සොහොයුරාද පිහිනීමට දැන සිටිමුත් ගොඩබිම නොපෙනෙන තරමේ රළපහරවල් එකිනෙක පැමිණීම නිසා ඔහු පිහිනා ඇත්තේද මුහුද දෙසටමයි. කල්ය පවසන ආකාරයට ඔහු සිය බාල සොයුරා බේරාගැනීමට මුහුදට පැන විනාඩි 5ක් 7ක් වැනි කාලයක් තුළ සොයුරාද රැගෙන ගොඩබිමට පීනා ඇත.

    බැලූ බැල්මටම භයංකර හැඟීමක් දනවන ඒ මුහුදු තීරය මේ සිදුවීමෙන් පසුව, පිහිනීමට කිසිසේත්ම නුසුදුසු මුහුදු තීරයක් බවට අනතුරු හැඟවෙන දැන්වීම් ඒ අවට යොදන්නට බලධාරීන් කටයුතු කර තිබේ.

    උස රළ මෙන්ම සෙල්සියස් අංශක 10ක් තරම් වන සීතල ජලයේ පිහිනා ජිවිතාරක්ෂණ ක්‍රියාවලියක නිරතවිම ඉතා දුෂ්කර කාර්යයකි. එසේ තිබිය දී ජීවිතය පරදුවට තබමින් සිය සහෝදරයා බේරාගැනිමට ගිය කල්ය ඉතා කෙටි කාලයක් තුළ රළ අතර සැගවෙමින් ගසාගෙන යන සිය සහෝදරයා අසළට ළගා වී තිබේ.

    ශ්‍රී ලංකාවේ දි (ගාල්ල මහින්දයෙන්) ලැබූ සිය ජිවිතාරක්ෂක පුහුණුව ප්‍රයෝජනයට ගත් කල්ය හදිසි සේවා පැමිණීමට පෙර සිය සහෝදරයා නිරුපද්‍රිතව වෙරළට ගෙන ඒමට සමත්වී ඇත.

    මෙම සිදුවීමෙන් පසු අදහස් දක්වා ඇති නවසීලන්තයේ එම කලාපය භාර ප්‍රාදේශිය පොලිස් නිලධාරියකු “මොවුන්ගේ ජීවිත බේරුණා කියන්නෙ පුදුමයක්. මේ මුහුදු තීරය ඒ තරම් භයානකයි” යැයි පවසා තිබේ.

    රාජකීය ජීවිතාරක්ෂක සංගමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය දියේ ගිලීම් වළක්වාගැනිමේ සංවිධානය අදාළ සිදුවිම එලෙස විස්තර කරමින් දක්වා ඇත්තේ කල්යගේ නිර්භීත ප්‍රතිචාරය අවිවාදයෙන් ඔහුගේ සහෝදරයාගේ ජීවිතය බේරා ඇති බවයි.

    රාජකීය මවුන්ට්බැටන් පදක්කම ශ්‍රී ලංකාවට මීට පෙර දෙවතාවක් හිමිව තිබූ අතර 1994 වසරේ දී හා 2004 සුනාමි ව්‍යවසනය අවස්ථාවේ දී ජීවිතාරක්ෂක ක්‍රියාවන් වෙනුවෙන් යසිත් ද සිල්වා සහ කතලුව යසරත්න මහත්වරු 1995 හා 2005 වසරේ දී මෙම පදක්කම් දිනාගත්හ.

    එසේ වුව ද තවමත් 14 වියේ පසුවන කල්ය 1951 මෙම පදක්කම පිරිනැමිම ඇරඹූ දා පටන් මෙම පදක්කම දිනා ඇති ලාබාලම විරුවා ය. තමන්ගේ ජිවිතය බේරුවාට සිය වැඩිමල් සොහොයුරාට තුති පුදන කිත්මි මෙන්ම කල්ය දෙදෙනාම කුඩා කල පටන් පිහිනුම් පාඨමාලා හැදැරූවේ මහින්ද විද්‍යාලයේ ය.

    තමා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම ගැන මාධ්‍යට විස්තරකරන කල්ය අවසන් වශයෙන් ඔහුට පිහිනුම් ක්‍රීඩාවක් වශයෙන් හඳුන්වා දුන් ගාල්ල මහින්ද විද්‍යාලයට හා ඔහුට මෙන්ම සිය සහෝදරයාට පාසලේ දී පිහිනුම් ඉගැන්වූ පුහුණුකරුවන්වන අතුල සේනාරත්න හා බන්දුල සේනාරත්න මහත්වරුන්ට තුති පුදන්නට ද අමතක නොකළේය.

    නවසීලන්තයේ ටොකොමයිරිරෝ උසස් පාසලේ පැවති විශේෂ උත්සවයක දී කල්යට මවුන්ට්බැටන් පදක්කම පසුගිය දා පිරිනැමිණි.

    ඔබේ අදහස් දක්වන්න.