තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාල්ල කොටුවේ කඩේ- මංජරී -lady J ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

    ගාල්ල කොටුවේ කඩේ- මංජරී -lady J ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

    මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ, ගාල්ල කොටුවේ කඩේ, ලේඩි J සහ මංජරී ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ ජේ.ජී.සුමනපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ඊයේ(12) දින ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 75 වැනි වියෙහි පසුවිය.

    ජඹුරේගොඩ ගමාච්චිගේ සුමනපාල මහතා උපත ලබා ඇත්තේ වැලිගමදීය. නව දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූ ඔහු ජඹුරේගොඩ විද්‍යාලයෙන් ද පසුව උසස් පෙළ දක්වා වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබී ය.

    කුඩා කළ සිටම ව්‍යාපාරික පරිසරයක් තුළ හැදී වැඩුණු සුමනපාල මහතා මුලින් වෙනත් කර්මාන්තවල නියැලී, ධර්මලතා මහත්මිය සමඟ සිදුවූ තම විවාහයෙන් පසුව ඔවුන් දෙපළ ගාල්ලේ Y.W.C.A. (තරුණ, කාන්තා, ක්‍රිස්තියානි සංගමයේ) ගොඩනැගිල්ලේදී සිය විලාසිතා ව්‍යාපාරය ආරම්භ කර ඇත.

    ජනතාවට හැකිතාක් අඩු මුදලට භාණ්ඩයක් අලෙවි කිරීම, යමෙකුට රැකියාවක් ලබාදීම යනාදි යහපත් අරමුණැතිව සුළු ලාභයක් පමණක් ලබාගනිමින් පවත්වාගෙන ගිය එම ව්‍යාපාරයට ‘කොටුවේ කඩේ’ යන නාමය ජනතාව විසින්ම යොදන ලද්දකි. පසුව එනමින්ම රට පුරාම ‘ගාල්ලේ කොටුවේ කඩේ’ අතිශය ජනප්‍රියත්වයට පත්විය.

    ව්‍යාපාරික ජේ.ජී.සුමනපාල මහතා සිය බිරිඳ සහ දරු මුනුබුරන් සමඟ

    පසුව එම ව්‍යාපාරය, සිය දියණියන් දෙදෙනාගේ නම්වලින් එනම් ජයනි සහ මංජරී යන නාමයන් යොදමින් කොළඹ පුංචි බොරැල්ලේ ‘ලේඩි ජේ’ ලෙසත් ගාල්ල සහ නුගේගොඩ ‘මංජරී’ ලෙසත් ව්‍යාප්ත කෙරිණි.

    මේ වනවිට එම ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ සුමනපාල මහතාගේ දරුවන් සහ බෑණාවරුන් විසිනි. සුමනපාල මහතාගේ අතිශය සාධාරණ ව්‍යාපාර අරමුණු තවදුරටත් රැකගනිමින් පවත්වාගෙන යාම නිසා එම ව්‍යාපාරය තවදුරටත් රට පුරා පුළුල් වෙමින් අද වනවිට ලේඩි ජේ සාප්පු සංකීර්ණයක් මහරගම දක්වාද විහිදී ගොස් තිබේ.

    වත්මන් ව්‍යවසායකයින්ට ආදර්ශමත් ව්‍යාපාරිකයකු වූ ජේ.ජී.සුමනපාල මහතාට, Newswave.lk අප කාර්ය මණ්ඩලය විසින් නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img