තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුපියලේ අගය වැඩිවීමේ මුළු වාසියම තාම බඩු මිලට ඇවිත් නෑ -මහබැංකුව

    රුපියලේ අගය වැඩිවීමේ මුළු වාසියම තාම බඩු මිලට ඇවිත් නෑ -මහබැංකුව

    2023 වසරේ මේ දක්වා කාලය තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමේ සම්පූර්ණ හිතකර බලපෑම මිල මට්ටම් තුළින් තවමත් පිළිබිඹු වී නොමැති බව මහබැංකුව පවසයි.

    මේ වසරේ මේ දක්වා කාලය තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 19කින් පමණ අතිප්‍රමාණය වී ඇත.

    රුපියලේ අගය ඉහළයාම නිර්-උද්ධමන ක්‍රියාවලිය සඳහා සහාය වන සාධකයකි.

    බලශක්ති සහ ආහාර මිල ගණන් ඇතුළු බොහෝ කාණ්ඩවල මිල පහළ යෑම මෙන්ම හිතකර පදනම් බලපෑම පිළිබිඹු කරමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) (2021=100) මත පදනම් වූ මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය) 2023 ජූනි මාසයේදී සියයට 12.0ක් දක්වා තවදුරටත් අඩු විය.

    ආහාර උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය) සහ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය) 2023 ජූනි මාසයේදී තනි අගයක මට්ටමක් දක්වා අඩු වෙමින් නිර්- උද්ධමන ක්‍රියාවලිය අඛණ්ඩව පැවතෙන බව මහබැංකුව කියයි.

    මහ බැංකුවේ නවතම පුරෝකථනවලට අනුව මතුපිට උද්ධමනය තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කරයි.

    එය 2023 තුන්වන කාර්තුව ආරම්භය වන විට තනි අගයක මට්ටමට ළඟා වී මැදිකාලීනව මැදි තනි අගයක මට්ටමෙ ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල පසු බලපෑම, බලශක්ති සහ ආහාර මිල ගණන්වල අපේක්ෂිත අඩු වීම හා එමගින් අනෙකුත් අංශවලට වන බලපෑම් සහ විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වීම හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු වීම මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම ද වත්මන් නිර්-උද්ධමන ක්‍රියාවලියට සහාය වේ.

    තවද, උද්ධමන අපේක්ෂා පාලනය වීම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීම සඳහා අවශ්‍ය අවකාශය සපයයි. ඊයේ මහබැංකුව ප්‍රකාශයට පත්කළ පරිදි පොලී අනුපාත අඩුකිරීමද එවැනි තීන්දුවකි.

    අයවැය සහාය සඳහා රජයට බහුපාර්ශ්වීය ආයතනවලින් අරමුදල් ලැබී ඇත. මේ වසරේ ඉතිරි කාලය තුළදී තවදුරටත් අරමුදල් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    2023 වසරේ මේ දක්වා කාලය තුළදී දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් අවශෝෂණය කරගැනීමට සමත් විය.

    ඒ අනුව, 2023 ජූනි මස අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 3.5ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ.

    චීන මහජන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඊට ඇතුළත් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img