අද වන විට ලෝක වෙළෙඳ පොල හැකිලෙන තත්වයක් ඇති වී තිබෙන බැවින් පවතින තත්ත්වය තුළ හැසිරීම මිස ඊට දැනෙන බලපෑමක් කිරීමට අපට හැකියාවක් නැතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
“අද වන විට ලෝක වෙළෙඳ පොල හැකිලෙන තත්වයක් ඇති වී තිබෙනවා. අපි කැමති වුනත්, අපි කැමති වුනේ නැතත් ලෝක වෙළෙඳ පොල තත්වය අපට හසුරුවන්න බැහැ. අපි පවතින තත්වය තුල හැසිරෙනවා විනා ලෝක වෙළෙඳ පොලට දැනෙන බලපෑමක් කරන්න අපට බැහැ. ඒ නිසා මේ අභියෝගාත්මක අවස්ථාවේ ආර්ථික යථාර්තයන් පිළිබඳව ආර්ථික දෘෂ්ටියෙන් කල්පනා කර ඒ සඳහා ආර්ථිකමය විසඳුම් ලබාගැනීම වෙනුවෙන් එකතුවී වැඩ කිරීමේ අවශ්‍යතාවය තමයි අපි දකින්නේ සහ අපි දැකිය යුත්තේ. ඒ සඳහා අපට ආඩම්බර විය හැකි කර්මාන්ත කරුවන් පිරිසක් සිටිනවා” යැයි ආමත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
ඔහු මේ බව කියාසිටියේ ජුනි 22 සිට ජුනි 28 දක්වා ප්‍රකාශයට පත් කරන ලද ජාතික කර්මාන්ත සතිය තුල ක්‍රියාත්මක කරන “2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසන් දිනය වන අද (25) දින ඊට සහභාගි වෙමිනි.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එය ආරම්භ කෙරුණි.
කර්මාන්ත අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව මෙය පවත්වනු ලබයි.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශ 20 ක් නියෝජනය කරමින් ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ ව්‍යවසායකයන් සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම දැවැන්ත ප්‍රදර්ශණය ප්‍රදර්ශණ කුටි 750 කින් සමන්විතය.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුයේ කොරෝනා වසංගතයත් සමග රටතුල ඇතිවූ ආර්ථික අර්බුදයට කර්මාන්ත කරුවන්ට මුහුණ දීමට සිදු වූවත් බොහෝ කර්මාන්තකරුවන් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දීම ගැන තමන් සතුටට පත්වන බවයි.
“අප රට නැගිටින්න නම් කාර්මික අංශයේ සංවර්ධනයක් අත්‍යාවශ්‍යයෙන්ම සිදුවිය යුතු බව නිරත්නතරයෙන්ම පැවසූ කෙනෙක් තමයි එවකට දැක්මක් සහිත ජාතික වීරයෙක් වූ අනගාරික ධර්මපාලතුමා. ලංකාවේ කර්මාන්ත ආරම්භ කරන්න කියල ලංකාවේ අය පිටරට යවල ඔවුන්ට අවශ්‍ය දැනුම පුහුණුව ලබාදීල ලංකාවේ කර්මාන්ත ආරම්භ කරන්න සහය දීපු කෙනෙක් තමයි එතුමා. අපි එතුමාට කෘතඥතාවය පල කල යුතුයි.
තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා “නිෂ්පාදනයට දායකත්වය ලබා දෙන අංශ තුනයි තියෙන්නේ. ඒ කෘෂි කර්මාන්ත අංශය, කර්මාන්ත අංශය සහ සේවා අංශය. ජාතික නිෂ්පාදනයට කර්මාන්ත අංශයෙන් ලැබෙන දායකත්වය වැඩි වන විට රටක් දියුණු වන බව ආර්ථික විද්‍යා නිගමනයන් අනුව පැහැදිලි වෙනවා. නමුත් අවාසනාවකට අපේ රටේ කර්මාන්ත අංශයේ දායකත්වය වැඩි වෙලා නැහැ. ඒ වගේම අදෘශ්‍ය කර්මාන්ත විදියට අපට අපනයනය කරන්න පුලුවන් තොරතුරු තාක්ෂණ කර්මාන්තය. අපේ අල්ලපු රට ඉන්දියාව වර්ෂයකට තොරතුරු තාක්ෂණ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 200ට වැඩි ආදාමෙක් ලබනවා. අපේ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන අපනයනවලින් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.7යි. අපි මෙය ඇමරිකානු ඩොලර් බිලියන 10 දක්වා වත් වැඩි කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ඕන” යැයි වැඩිදුරටත් පැවසීය.
කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, කර්මාන්ත සඳහා නව තාක්ෂණය හදුන්වාදීම, නවෝත්පාදන දිරි ගැන්වීම, වෙළඳපළ අවස්ථා උදාකර දීම, දේශිය හා විදේශීය ව්‍යවසායකයින්, සැපයුම්කරුවන්, ගැණුම්කරුවන් යන සියඑදෙනා ඒකරාශී කර ගැනීම, නව කර්මාන්ත වලට විශාල අවකාශයක් නිර්මාණය කර ගැනීම සහ නව ව්‍යවසායකයින් බිහි කිරීම අරමුණු කරගනිමින් මෙම ජාතික ප්‍රදර්ශණය සංවිධානය කර ඇත.






