තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝගීන් මියගිය නිර්වින්දන බෙහෙත ගැන විමර්ශන -ඇමතිකම අතාරින්නත් කෙහෙළිය ලෑස්තියි

    රෝගීන් මියගිය නිර්වින්දන බෙහෙත ගැන විමර්ශන -ඇමතිකම අතාරින්නත් කෙහෙළිය ලෑස්තියි

    රෝහල් කිහිපයක නිර්වින්දන ඖෂධයක් සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මෙම නිර්වින්දන බෙහෙත් ගැටලුව මතුව ඇත්තේ රෝහල් දෙකක පමණක් බව අමාත්‍යවරයා කියාසිටියේ අද (22) පාර්ලිමේන්තුවේදී ය.

    පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ පේරාදෙණිය ළමා රෝහලේ නිර්වින්දන ඖෂධයක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුසහගත තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය.

    ළමා රෝහලට මෙම නිර්වින්දන ඖෂධය ලබානොදෙන බවත් ළමුන්ට නිර්වින්දන ඖෂධය කිසිසේත් භාවිත නොකරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    සැත්කම්වලදී භාවිත කළ නිර්වින්දන ඖෂධයක් හේතුවෙන් රෝගීන්  මියයාමේ සිද්ධි පසුගිය දිනවල වාර්තා විය.

    එමෙන්ම ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තවදුරටත් නොලැබුණහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එහිදී කියා සිටියේය.

    මේ පිළිබඳ පැවසූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

    “මම මේ වෙලාවේ ඉතාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. අධිකරණය සම්බන්ධව අපේ විශාල ගරුත්වයක් තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී සමහර අවස්ථාවල අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තිබෙනවා. මම අධිකරණ අමාත්‍යවරයා සමඟත් ඒ ගැන කතා කළා. ඒක එක හේතුවක්. අනෙක් හේතුව මුදල්වල ප්‍රශ්නයකුත් මතුවෙලා තිබෙනවා. මේ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැත්තම් ඒ ගැන මේ සභාවට මම දන්වනවා. මොකද මම තීන්දු කරලා තිබෙනවා ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහගන්නට බැරි නම් තවදුරටත් තනතුරු දරන්න මම බලාපොරොත්තුවෙන්නේ නැහැ. මොකද ඒක සමාජයට සහ මේ සේවයට කරන විශාල අඩුපාඩුවක් හැටියට. මොන හේතු කිව්වත් ඒ අඩුපාඩුවල වගකීම අපිට භාරගන්න වෙනවා. අද දවස තුළ මේ ගැන අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයත් සමඟ.”

    නිර්වින්දන ඖෂධය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙම කරුණු හෙළිකළේය.

    සබැඳි පුවත් බාල එන්නතක් නිසා විදුහල්පතිනියක් මියයයි

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img