හර්නියා රෝගී තත්ත්වයක් හේතුවෙන් සැත්කමකට භාජනය කිරීමේ දී ප්‍රමිතියෙන් බාල නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි විදුහල්පතිවරියක් අද මියගිය බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් අප්‍රේල් මාසයේ එම විදුහල්පතිනිය හර්නියා රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර එහිදී සැත්කමට භාජනය කිරීමට පෙර නිර්වින්දන එන්නතක් ලබා දුන් නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව මාස දෙකකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසීය.
ඉකුත් අප්‍රේල් මාසයේ දරු ප්‍රසූතියක් සඳහා ඇතුළත් කළ ගර්භනී මාතාවකට ද එම එන්නත ලබා දී තිබූ අතර ඇය මිය යාමෙන් පසුව එම එන්නත් භාවිතය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තහනම් කළ බවද රෝහල් අධ්‍යක්ෂවරයා කීය.
එම එන්නත තහනම් කිරීමට දින 5කට පමණ පෙර මෙම විදුහල්පතිනියටද එම නිර්වින්දන එන්නත ලබාදී තිබු බවද එමඟින් ඇය ද අසාධ්‍ය තත්ත්වයට පත්ව අද මිය ගිය බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
කෙසේවෙතත් එම එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශය තහනම් කිරීමෙන් පසුව එම එන්නත් රෝහලින් ඉවත් කළ බවද ඔහු සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර නිර්වින්දනය එන්නතක් ලබා දීමෙන් පසුව මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර මාවුස්සාවා කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කළ 59 හැවිරිදි ඒ.ජී.කරුණාවතී නමැති දෙදරු මවකි.