fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඩ්‍රෝන් මෙහෙයුම ඇරඹෙයි - ගම්පහ ඩෙංගු අඩුවෙයි

    ඩ්‍රෝන් මෙහෙයුම ඇරඹෙයි – ගම්පහ ඩෙංගු අඩුවෙයි

    ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය 50%කින් පමණ අඩු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම්, දිසාපති සමන් දර්ශන පාඬිකෝරාල මහතා පවසයි.

    සෞඛ්‍ය අංශ, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ අංශ මගින් පසුගිය කාලය තුළ ගනු ලැබූ ක්‍රියාමාර්ගයන් හේතුවෙන් මෙම පාලනය සිදුවී ඇති බව හෙතෙම කීය.

    ඉදිරියටත් සති 03කට වැඩි කාලයක් මේ ක්‍රියාමාර්ග ගත් විට මේ තත්ත්වය පාලනය කළ හැකි බව ඒ මහතා පවසයි.

    රෝගීන් වාර්තා වීමේදී වැඩි ප්‍රමාණයක් වත්තල, මීගමුව, කැලණිය ප්‍රදේශවලින් වාර්තා වුව ද එය ද යම් මට්ටමකට අඩු වී යාමේ ප්‍රවණතාවක් පවතී.

    අධි අවදානම් ප්‍රදේශයන්හි හඳුනාගෙන ඇති ස්ථානවල ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම ඊයේ (25) පෙරවරුවේ ගම්පහ නගරයේ දී ආරම්භ කෙරිණි.

    නිරීක්ෂණ ඩ්‍රෝන කැමරා මගින් ඉහළ ගොඩනැගිලිවල මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම ප්‍රථමයෙන් සිදු කරන අතර පසුව කීට නාශක යෙදීම සිදු කරනු ඇත.

    ඩෙංගු අවදානම් තත්ත්වය වළක්වා ගැනීමට, තමන්ගේ නිවස හා අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදු කර ගන්නා ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මෙය සෞඛ්‍ය අංශයට හෝ පොලිසියට පමණක් සිදු කළ හැකි කාර්යයක් නොවන බවත් එසේ නොමැති නම් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය හා සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළේය.

    ඉහළ ගොඩනැගිලිවල මදුරුවන් බෝවන ස්ථාන ගණනාවක්ම මෙම පරීක්ෂාවේ දී හඳුනා ගැනිණි.

    එම සියලුම ස්ථානයන්හි හිමිකරුවන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම පිණිස ඉදිරි කටයුතු කෙරෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රෝහණ රණසිංහ මහතා මෙහි දී පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.