fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ අපවත් වෙති

    දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ අපවත් වෙති

    ශ්‍රි ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක මහා මහෝපාධ්‍යාය අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි ස්වාමීන්වහන්සේ අද (16) අපවත්වූහ.

    ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක පදවියට අමතරව අභිධජරට්ඨගුරු, අග්ගමහාපණ්ඩිත, කළපළුවාව ගෝතම තපෝවනය ඇතුළු තදීය ශාඛා ගණයේ සේනාසනාධිපති ධුරයන් ද හෙබවූ දොඩම්පහල චන්දසිරි නාහිමියෝ කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංගීසවංශාලංකාර, විපස්සනාකම්මට්ඨාකාචරිය, මහා මහෝපාධ්‍යාය අග්ගමහාපණ්ඩිත ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබූහ

    මාතර දොඩම්පහල නම් රමණිය ගම්මානයේ වර්ෂ 1939 දෙසැම්බර්‌ මස 20 දින එගම්වැසි එදිරිවීර පටබැ‍‍‍‍ඳිගේ සරණේරිස්‌ සිල්වා මහතාට සහ එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා උපාසිකා මාතාවට දාව උපත ලද නායක ස්වාමින්වහන්සේ මුලික අධ්‍යන කටයුතු දොඩම්පහළ මධ්‍ය මහා විද්‍යාලයෙන්‌ ලැබිය.

    1950 නොවැම්බර් 25 දින කුඩාවැල්ල වාලුකාරාමයේ දී පැවිදි දිවියට ඇතුළත් වීමෙන්‌ පසු අධ්‍යන කටයුතු සඳහා මාතර වීරබා පිරිවෙණට ඇතුළත්‌ වූ දොඩම්පහල චන්ද්‍රසිරි නායක ස්වාමින්වහන්සේ, ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙණට ඇතුළත්ව සිංහල පාලි සංස්කෘත, ඉතිහාසය, පුරා විද්‍යාව ඡ‌න්දෝලංකාර ආදි විෂයයන්‌ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ලබාගත්හ.

    1962 ජුනි මස 17 වෙනි දින මාතර නිල්වලා නදී සීමා මාලකයේ දී උපසම්පදාව ලැබීමෙන් පසු විපස්සනා භාවනා පුහුණු කළ චන්දසිරි ස්වාමීන්‌වහන්සේ අතිගරු කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක මාහිමියන් වහන්සේ සමග එක්ව වර්ෂ 1962 දී කලපළුවාව පෙදෙසින් අක්කර අටක පමණ භූමි භාගයක් ලබා ගෙන එහි “ගෝතම තපෝවනය” නමින් භාවනා මධ්‍යස්ථානයක් පිහිටු වූහ.

    අද වනවිට විපස්සනා භාවනා ක්‍රමය රට පුරා ව්‍යාප්තව ඇත. අතිගරු කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක මාහිමියන්‌ වහන්සේ වර්ෂ 1962 දී අපවත්‌ වූයෙන්‌ ශ්‍රී ගෝතම තපෝවනය ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති ධුරයට දොඩම්පහළ චන්දසිරි ස්වාමීන්වහන්සේ පත් වුහ.

    විමලකීර්ති ශ්‍රී කොග්ගල සිරි විසුද්ධි නායක මාහිමියන් වහන්සේ වර්ෂ 1996 දී අපවත්‌ වූයෙන්‌ එතෙක්‌ අනුනායක ධුරය හෙබවූ අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නායක ස්වාමීන් වහන්සේ වර්ෂ 1996 මාර්තු 31 දින දොඩන්දූව, ශෛලබිම්බාරාම මූල මහා විහාරයට රැස්වූ කල්‍යාණි වංශික සංඝ සභාව විසින්‌ ඒකමතිකව නිකායේ ‘මහානායක’ ධූරයට තෝරා පත්කර ගන්නා ලදහ.

    කොටස්‌ තුනකට බෙදී වෙන්ව පැවති කල්‍යාණිවංශ නිකාය එක්කිරීමට දොඩම්පහළ චන්දසිරි මාහිමියන් කටයුතු කළ අතර ශ්‍රී කල්‍යාණි වංශික නිකායේ දෙවන ශතසංවත්සර පූර්ණය 2010 වසරේ දී අති උත්කර්ෂවත් අන්දමින්‌ සංවිධානය විය.

    පැවැත්මෙන්‌ ගමනින්‌ වචනයෙන්‌ සංචරශීලි වූ නාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මගාසංඝ සභාව එකී සංඝ සභාවේ උපසභාපති ධුරයකින්‌ ගෞරව කළ අතර වර්ෂ 2013 පෙබරවාරි මස 23 වන දින එම සංඝ සභාවේ සභාපති ධුරයට නිතරඟයෙන්‌ තෝරාපත් කරගනිමින්‌ නැවතත් ගෞරවෝපහාරය පත්වූහ. පස්වසරක ධුරකාලය 2018 වසරේදී අවසන්‌ කළ නාහිමියෝ එම වසරේදීම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය ධුරයෙන්‌ පිදුම්‌ ලැබූහ.

    සම්බුදු සසුන වෙනුවෙන්‌ උදාරතර ලෝක ශාසනික සේවාවක නිරතවන දොඩම්පහළ චන්දසිරි මහානායත ස්වාමින් වහන්සේට 2021 ජනවාරි මස 04 වන දින මියන්මාර්‌ රජය මගින්‌ අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනමනු ලැබූ අතර 2021 වූ ජූලි මස 20 වැනි දා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සිව්වන උත්තරීතර මහනායක මාහිමිපාණන් වහන්සේ ලෙස පිදුම් ලැබූහ. අපවත්වනතුරු නායක ස්වාමින් වහන්සේ එම පදවිය දැරූහ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.