fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දු - ලංකා ආරක්ෂක ප්‍රබලයන් දෙදෙනෙකු අතර හමුවක්

    ඉන්දු – ලංකා ආරක්ෂක ප්‍රබලයන් දෙදෙනෙකු අතර හමුවක්

    ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වීආර් චෞධරි මහතා, මෙරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (සීඩීඑස්) ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගිය දා හමුවක් පවත්වා තිබේ.

    මෙහිදී ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානියා සහ දූත පිරිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර වසර ගණනාවක් තිස්සේ ජාතීන් දෙක අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා සිහිපත් කරන ලදී.

    වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියාට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කෘතඥපූර්වකව ස්තුතිය පුද කළේය.

    අනුකම්පා විරහිත ත්‍රස්තවාදීන් රටින් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සටන් ඵලදායිතාවය පවත්වා ගැනීම සඳහා ලබාදී ඇති අලුත්වැඩියා සහ නඩත්තු පහසුකම් බෙහෙවින් ඉවහල් වූ බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂයෙන් අවධාරණය කළේය.

    ඉන්දියාව විසින් ඉදිරිපත් කරන ලද ඩ්‍රෝන සහ රේඩාර් පහසුකම් නව ජවයකින් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීමට පහසුකම් සලසා ඇති බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළේය.

    හමුදා දෙක අතර පුහුණු අවස්ථා සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමේ හැකියාව පිළිබඳව ද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කතා කළේය.

    එයාර් චීෆ් මාර්ෂල් වීආර් චෞද්‍රි මහතා ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශයේ උණුසුම් පිළිගැනීම සහ අඛණ්ඩ සබඳතා වෙනුවෙන් සිය ස්තුතිය පුද කළේය.

    ඉදිරියේදීත් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉන්දීය ගුවන් හමුදාව බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ සංචාරයට පැමිණි ඉන්දීය ගුවන් හමුදාපතිවරයා අතර සිහිවටන සංකේත හුවමාරු කර ගන්න ලදී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.