fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය කොළඹ දී..

    ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය කොළඹ දී..

    කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) ආරම්භ කෙරිණි.

    බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

    එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය. අනතුරුව ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී පැවති විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගය නැරඹීමට ද එක් විය.

    ඉන් අනතුරුව ගංගාරම විහාරස්ථානයේ සීමා මාලකය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය.

    විදුලි අලෝකය දල්වා “බුද්ධ රශ්මි වෙසක් කලාපය” විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

    දකුණු ආසියානු තානාපති කාර්යාල හා මහකොමසාරිස් කාර්යාලවල දායකත්වය සහිතව ඉදි කෙරුණු මෙම වෙසක් කලාපයේ බෞද්ධ උරුමයන් නිරූපණය වන අයුරින් එම රටවල් විසින් ප්‍රදර්ශන කුටි නිර්මාණය කර තිබිණ.

    එම සියලු ප්‍රදර්ශන කුටි වෙත ගිය ජනාධිපතිවරයා එහි බෞද්ධ නිර්මාණ නිරීක්ෂණය කළ අතර එම නිර්මාණකරුවන්ගේ ද තොරතුරු විමසීය.

    පාකිස්ථාන බෞද්ධ උරුමයන් පිළිබඳ ප්‍රදර්ශන කුටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි තබා තිබූ සමරු ග්‍රන්ථයේ සටහනක් ද තැබීය.

    අනතුරුව ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    මේ අතර බුද්ධ රශ්මි වෙසක් කලාපය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් සැදැහැවතුන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද කථා බහක නිරත විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.