fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පහුගිය කාලෙ මිනිස්සු හඳුනගත්තා.. අවශ්‍ය වෙලාවට හරි තීන්දුව ගන්නවා" -මහින්ද

    “පහුගිය කාලෙ මිනිස්සු හඳුනගත්තා.. අවශ්‍ය වෙලාවට හරි තීන්දුව ගන්නවා” -මහින්ද

    ගෙවුණු කාලයේදී බොහෝ අත්දැකීම් විඳගත් අතරම මිනිසුන් හඳුනාගැනීමට ද හැකිවූ බවත්, අවශ්‍ය මොහොතේදී ජනතාව සමඟ හරි තීන්දුව ගන්නා බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ‘අභියෝග බිඳ අභිලාෂ ජයගමු’ පොදුජන මැයි රැළිය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

    හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ මැයි දින රැළිය පැවැත්විණ.

    එහිදී මැයි දින රැළිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.

    “මිත්‍රවරුනි, සමහරු අපිව විවේචනය කරනවා. හැබැයි ඒ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය. අවශ්‍ය වෙලාවට අපි ඔබත් එක්ක හරි තීන්දු ගන්නවා කියන එක මතක් කරලා දෙන්න ඕන. අපි ආර්ථිකය සැලසුම් කරනකොට වැඩකරන ජනතාවට ප්‍රමුඛ තැනක් දිය යුතුයි. අපි ඒක කරනවා..ඒ වගේම එදා ඉඳන් ඔබත් බලය තිබුණත් නැතත් අපි එක්ක ඉදලා රට වෙනුවෙන් අපිව බලයට ගේන්න අවශ්‍ය කැපකිරීම කලා… සැබෑ කම්කරු නායකයෝ වැඩ කරන්නේ පටු දේශපාලන වාසි තකා නෙවෙයි. එදා කම්කරු ව්‍යාපාරය තමයි රටේ නිදහස ලබා ගැනීමේ ප්‍රධාන බලවේගය වුණේ. ඔබට මතක ඇති. එදා අයිති කම්කරු නායකයන් රට අරාජික කරන්න කවදාවත් කම්කරු ව්‍යාපාරය මෙහෙයවූයේ නෑ. මිත්‍රවරුනි, බටහිර අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ බවට පත් නොවී දේශීය චින්තනයට අනුව වැඩ කරන්න ගිය නිසයි අපිට විවිධ රාජ්‍ය නොවන සංවිධාන වගේම දේශපාලන සංවිධානවල එකතු කරලා යම් කුමන්ත්‍රණයක් කළේ. ඒ අයට ඕන වුනේ අපේ දේපල වලට විතරක් නෙමේ අපේ ජීවිත වලටත් හානි කරන්න. බලය ගන්න කලින් හිට්ලර් කෙනෙක් බලය ගන්නවා කියලා ජනතාව කුපිත කරවපු අය අවසානයේ කිව්වේ මොකක්ද? එදා ඒ කියපු කතාව ඇත්තක් නොවුණු නිසයි රට ලේ විලක් නොවී බේරුණේ. ජනතාව වෙනුවෙන් බලය ගන්නවා වගේම ජනතාව වෙනුවෙන් බලය අතාරින්නත් හැකි දේශපාලන අත්දැකීමක් අපිටත් අපේ පක්ෂයටත් තියෙනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න ඕන. ඒ වගේම ඕනෑම මොහොතක කව්රුත් නොහිතන තරම් සංවිධාන ශක්තියකින් නැගිටින්නත් අපිට පුළුවන් බව අපි ඔප්පු කරල තියනවා. ඒ නිසා දේශපාලනික විවේචන කොතරම් කලත් මඩ දේශපාලනයට ඔබ වැටෙන්න එපා. මුලින්ම මඩ ගාගන්න වෙනවා. මොකද මට අත්වලින් අල්ලලා එපැයි අපිට මඩ ගහන්න. පහුගිය කාලේ නං අපි බොහෝ අත්දැකීම් විඳ ගත්තා. මිනිස්සු අඳුනා ගත්තා. අපිට දැන් තියෙන්නේ රට ශක්තිමත් කරන්න. අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කරන්න. ඊයේ මෙන්ම අදත් හෙටත් අපි විශ්වාස කරන්නේ වැඩබිමේ දහඩිය හෙලන වැඩ කරන ජනතාවට මේ රට වෙනුවෙන් විශාල වගකීමක් තිබෙන බව. වැඩබිම ශක්තිමත් වෙන තරමට තමයි රට ශක්තිමත් වෙන්නේ. අභියෝග බිඳගෙන රට දිනවන අභිලාෂය ජය ගන්වන්න එක්වන්නැයි සමස්ත කම්කරු ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.” යැයිද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් එහිදී කීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවති මැයි රැළියේ වීඩියෝව පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.