fbpx
තවත්
    මුල් පිටුවspecialනිශාන් 200යි කුසල් 150යි - ලංකාවේ වාර්තා අලුත් වෙයි

    නිශාන් 200යි කුසල් 150යි – ලංකාවේ වාර්තා අලුත් වෙයි

    සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ ගාල්ලේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිශාන් මධුශ්ක අද (27) සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කළ අතර ඔහු සමඟ පිටියේ නොදැවී ක්‍රිඩා කරන කුසල් මෙන්ඩිස් ද මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර සිටියි.

    අඳුරු කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේ ප.ව 3.43ට අතහැර දැමු තරගය අද සිවුවැනි දිනට නියමිත වේලාවට ආරම්භ විය. අද දිනයේ තරගය ආරම්භ කරන විට ශ්‍රි ලංකා ලකුණු පුවරුව ලකුණු 357/1 ලෙස සටහන් වී තිබු අතර ඉන් ලකුණු 149 නිශාන් මුධුශ්කටත් ලකුණු 83ක් කුසල් මෙන්ඩිස්ටත් හිමිව තිබිණි.

    සිවුවන දිනය ආරම්භක පන්දුවාරයේ දිම නිශාන් මධුශ්ක සිය ලකුණු 150 සීමාව පසුකර ගියේය. අනතුරුව කඩුල්ල ආරක්ෂා කරමින් ලකුණු 200 ඉක්මවූ වාර්තාගත සම්බන්ධතාවත් ගොඩනගාගත් කුසල් සහ නිශාන් සිය කණ්ඩායමේ ලකුණු මට්ටම ඉහළ දැමූහ.

    ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ අසූ අටවැනි පන්දුවාරයේ සිවුවැනි පන්දුවේ දි කුසල් මෙන්ඩිස් සිය ශතකය වාර්තා කළ අතර 106 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ඔහු සිය ලකුණු 150 වාර්තා කළේය.

    නිශාන් මධුශ්ක සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කරනු ලැබුවේ ඉනිමේ එකසිය එකළොස්වන පන්දුවාරයේ අවසන් පන්දුවට 4 පහරක් එල්ල කරමිනි. ඒ සමඟම නිශාන් මධුශ්ක ශ්‍රි ලංකා ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වූ අතර 1987 දි බ්‍රෙන්ඩන් කුරුප්පුගෙන් පසුව සිය මංගල ශතකය ද්විත්ව ශතකයක් බවට පත්කළ දෙවැනි ක්‍රිඩකයා බවට නිශාන් මධුශ්ක පත්විය.

    එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ඉනිමක දී ආරම්භක පිතිකරුවන් තිදෙනාම ශතක වාර්තා කළ පළමු අවස්ථාව ද මෙය වෙයි. මේ වනවිට නිශාන් මධුශ්ක 202 සහ කුසල් මෙන්ඩිස් 160 ක් ලබා නොදැවී ක්‍රිඩා කරති.

    අයර්ලන්තය 492/10

    ශ්‍රි ලංකාව 489/1

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.