fbpx
තවත්
    මුල් පිටුවCOVIDලංකාවේ දෛනික කොවිඩ් මරණ 200 ඉක්මවන හැඩ ! - වොෂින්ටන් සරසවියෙන් පුරෝකතනයක්

    ලංකාවේ දෛනික කොවිඩ් මරණ 200 ඉක්මවන හැඩ ! – වොෂින්ටන් සරසවියෙන් පුරෝකතනයක්

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ දත්ත මත පදනම්ව තවත් මාස හතරකින් පමණ මෙරට සිදු විය හැකි කොවිඩ් මරණ සහ ආසාදිතයන් අනුපාත පිළිබඳ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ ස්වාධීන ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය වන සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය (IHME) විසින් පුරෝකථනය කර තිබේ.

    එම ආයතනය විසින් ගෝලීය වශයෙන් වත්මන් තත්ත්වය මත පදනම්ව කොවිඩ් දත්ත උපයෝගී කරගනිමින් මෙම පුරෝකතනය කර ඇත.

    සැප්තැම්බර් 21 වන විට මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ඉතාම ඉහළ අගයකට පත් වනු ඇති බව එම ආයතනය පුරෝකථනය කර ඇත. එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් වසංගතයේ දැන් තත්ත්වය මත 2021 සැප්තැම්බර් 1 වන විට ශ්‍රී ලංකාවේ මුළු COVID-19 මරණ 20,876ක් වනු ඇති බවය.

    වගුව 1

    ආසාදිතයින් හා මරණ අතර සාමාන්‍යයෙන් දින 17-21 අතර ප්‍රමාදයක් පවතින බව IHME සමීක්ෂකයෝ කියති. කෙසේවෙතත් වසංගතයේ ප්‍රගතිය පිළිබඳ හොඳම දර්ශකය දෛනික මරණ බව ඔවුන්ගේ අදහසයි. එම ආයතනය පවසන්නේ ලබන ජුනි 27 වන විට මෙරට දෛනික මරණ සංඛ්‍යාව අනපේක්ෂිත ලෙස ඉහල යනු ඇති අතර සැප්තැම්බර් වන විට එය තරමක් පහළ යනු ඇති බවයි. කෙසේ වෙතත් ඔවුන් පවසන පරිදි පවතින දත්ත මත ලබන ජුනි 27 වන විට මෙරට දෛනික මරණ සංඛ්‍යාව 224ක් වනු ඇති අතර එය නරකම තත්ත්වයට පත් වුවහොත් දිනකට මෙරට කොවිඩ් මරණ 358ක් වුව ද වාර්තා විය හැකි බවයි.

    වගුව 2

    ලබන ජුනි 14 පමණ වන විට මෙරට රෝහල්වල covid රෝගීන්ට පහසුකම්වල උපරිම අවශ්‍යතාවය මතු වනු ඇති බවට සඳහන් කරන එම ආයතනය, කොවිඩ් රෝගීන් සඳහා ඇඳන් 17023ක් අවශ්‍ය වනු ඇති අතර ඒ වන විට මෙරට තුළ ඇඳන් 20769ක් පමණ පවතිනු ඇති බව එම ආයතනය පවසයි. එමෙන්ම covid රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන් ඒ වනවිට 3445ක් අවශ්‍යතාව වනු ඇති අතර මෙරට පවතිනු ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් 295 ක් පමණක් බව බවද එම ආයතනය පුරොකතනය කර ඇත.

    වගුව 3

    IHME ආයතනය ඇස්තමේන්තුගත කර ඇති මෙරට ආසාදිතයින්‌ යනු පරීක්ෂාවට ලක් නොවූ අය ඇතුළුව සෑම දිනකම COVID-19 ආසාදනය වී ඇති බවට තක්සේරු කරන පුද්ගලයින් සංඛ්‍යාවයි. ඒ අනුව ලබන ජුනි 20 වනවිට මෙරට තුළ දෛනික ආසාදිතයින් වාර්තා වීම සහ සිදුකරන පරීක්ෂණ ගණන ඉහළ අගයක් ගනු ඇති බවත් ඉන්පසුව ක්‍රමානුකූලව අඩු වනු ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි. ඒ අනුව ලබන ජුනි විසිවැනි දා වන විට මෙරට දෛනිකව වාර්තා විය හැකි ආසාදිතයින් හා පරීක්ෂණ ගණන 46772ක් වනු ඇති බවත් නරකම තත්ත්වයක් ඇතිවුවහොත් එය 85896 පමණ අගයක් ගනු ඇති බවත් පවසා තිබේ.

    වගුව 4

    මෙරට මුඛ ආවරණ භාවිතය පිළිබඳ එම ආයතනය විසින් පුරෝකතනය කිරීමට පාදක කරගෙන ඇත්තේ ප්‍රසිද්ධියේ මුඛ ආවරණ නිරතුරුවම පැළඳ සිටින බව පවසන ජනගහනයේ ප්‍රතිශතය නියෝජනය කරමිනි. මුඛ ආවරණ භාවිතය මගින් කොවිඩ් වෛරස සම්ප්‍රේෂණය 30% හෝ ඊට වැඩි අගයකින් අවම කෙරේ. සැප්තැම්බර් 1 වන විට මෙරට මුඛ ආවරණ භාවිතය 95% ක් වනු ඇති නමුත් ක්‍රමානුකූල අඩුවීමක් ඔවුන්ගේ දත්ත මගින් පෙන්වා තිබේ.

    ලබන ජුනි 27 වැනිදා වෙනකොට මෙරට තුළ සමාජ දුරස්ථභාවය 43% කින් අඩුවනු ඇති බවටද පුරෝකථනය කර ඇත.

    එම ආයතනය පවසන පරිදි පවතින වසංගතය තුළ අතිරික්ත මරණ අනුපාතය යන්න ඕනෑම රටක දැනට පවතින මුළු COVID-19 මරණ අනුපාතයට සමාන නොවේ. වසංගතය හා වසංගතය සමඟ ඇති වූ සියලු මරණවල හේතුකාරක ලෙස කරුණු 6ක් මෙම අතිරික්ත මරණ අනුපාතය සඳහා බලපායි.

    මෙම කරුණු හය නම්:
    අ) මුළු COVID-19 මරණ අනුපාතය, එනම් COVID-19 ආසාදනයට සෘජුවම සම්බන්ධ සියලුම මරණ;

    (ආ) වසංගතය තුළ අවශ්‍ය සෞඛ්‍ය සේවා ප්‍රමාද වීම හෝ කල් දැමීම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යාම;

    ඇ) මානසික අවපීඩනය, මත්පැන් භාවිතය වැඩිවීම ඇතුළු මානසික සෞඛ්‍ය ආබාධ හේතුවෙන් මරණ අනුපාතය වැඩිවීම;

    (ඈ)) සමාජ දුරස්ථභාවය හා සම්බන්ධ සංචලතාවයේ සාමාන්‍ය අඩුවීම හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු වීම;

    (ඉ) අනෙකුත් වෛරස් සම්ප්‍රේෂණය අඩුවීම, විශේෂයෙන් ඉන්ෆ්ලුවෙන්සා, ශ්වසන ආශ්‍රිත වෛරසය සහ සරම්ප නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩු වීම;

    (ඊ) හෘද රෝග හා නිදන්ගත ශ්වසන රෝග වැනි සමහර නිදන්ගත තත්වයන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩු වීම,

    සමස්ත COVID-19 මරණ අනුපාතය නිවැරදිව තක්සේරු කිරීම සඳහා, වසංගතයේ ආරම්භයේ සිට සිදුවී ඇති මරණ අනුපාතය වෙනස් වීමට බලපෑ මෙම කරුණු 6 සැලකිල්ලට ගත යුතු බව එම සමීක්ෂකයන් පෙන්වා දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.