තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව ගැන අධ්‍යයනයකට නෝර්වේ සිසුන් පිරිසක් මෙරටට

    ශ්‍රී ලංකාව ගැන අධ්‍යයනයකට නෝර්වේ සිසුන් පිරිසක් මෙරටට

    ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් දැනට පවත්නා අභියෝග සහ විවිධ ප්‍රායෝගික සංවර්ධන ගැටලු පිළිබඳව ඉගෙනීම සඳහා මෙරටට පැමිණ සිටින නෝර්වේ ඇග්ඩර් විශ්වවිද්‍යාලයේ ‘සංවර්ධන අධ්‍යයන’ උපාධි පාඨමාලාව හදාරන ශිෂ්‍යන් 25 දෙනෙකු හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) අධ්‍යාපන චාරිකාවක නිරත විය.

    මෙහිදී එම ශිෂ්‍යයන්ට හම්බන්තොට වරායේ විවිධ ක්‍රියාදාමයන් මෙන්ම එහි උපායමාර්ගික වටිනාකම, අනාගත සැලසුම්, වත්මන් සහ අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීමට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පරිපාලන නිලධාරීන් පියවර ගත්තේය.

    ඉංජිනේරු සහ තාක්‍ෂණ කළමනාකරණයේ කාර්යයන්, වරාය විසින් අනුගමනය කරන හරිත ක්‍රමවේද සහ හරිතාගාර වායු අවම කිරීමේ ක්‍රියාවලීන්, ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය, යටිතල පහසුකම්, කොළඹ වරාය, සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය, පිළිබඳවද දළ විශ්ලේෂණයක් සහිතව මෙම උපාධි අපේක්ෂකයන්ට පැහැදිලිකර දීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිපාලන නිලධාරීන් පියවර ගෙන තිබේ.

    “හම්බන්තොට ජාත්‍යන්තර වරාය පිළිබඳ වර්තමාන තරුණ කැල අතර වැඩෙමින් පවතින වෘත්තිමය උනන්දුව අපගේ සතුටට කරුණක්. වරාය ක්‍රියාකාරකම් වලින් ඔබ්බට ගිය අපගේ සැළැස්ම සහ උපාය මාර්ග ඔවුන්ට වටහාදීමට අප සැමවිටම සූදානම්. වරායට යාබද මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය දක්වා විසිර ඇති නිෂ්පාදන සහ සැපයුම් දෙඅංශයේම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම අපගේ එක් අරමුණක්. අධ්‍යාපන හා ප්‍රායෝගික දෘෂ්ටිකෝණයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය වැදගත් වන්නේ, එහි උපයමාර්ගික පිහිටීම මෙන්ම ජාත‍යන්තර රීතීන්ට අනුකූල සේවා සහ ක්‍රියාපටිපාටීන්, රට තුළ කර්මාන්ත අංශය සහ සමස්ත ආර්ථිකයේ දියුණුව සඳහා ලබා දෙන සහය වැනි හේතු නිසා. වරායේ වර්ධනය, ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ සමීපව සම්බන්ධ වී ඇති අතර, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක්, හරිත පරිසරයක් සඳහා රුක් සිටුවීම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල ප්‍රදේශයේ අත් හළ රජයේ පාසලක් නැවත ගොඩනැගීම, හම්බන්තොට මහ රෝහලට අංගසම්පූර්ණ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් ලබා දීම, අපේක්ෂාවේ ගම්මානය පිහිටුවීම, අලි මිනිස් සාම අරමුදල ආරම්භ කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රාශියක් දැනටමත් සිදු කර තිබෙනවා” යැයි එහිදී සිසුන් අමතා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසුවේය.

    21 වන සියවසේ සංවර්ධන තීරණාත්මක ගැටළු සහ සංස්කෘතිය, ගෝලීයකරණය, සංක්‍රමණය, ජාත්‍යන්තර සහ ජාතික බල ව්‍යුහයන්, ආර්ථික අවශ්‍යතා, සම්පත් පාලනය සහ කළමනාකරණය යන සංකීර්ණ අන්තර් සම්බන්ධතා ඇග්ඩර් විශ්ව විද්‍යාලයේ ගෝලීය සංවර්ධන අධ්‍යයනයන අංශයේ උපාධි වැඩසටහනේ අන්තර්ගත හැදෑරීම් වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img