නිධානයක් ගොඩගැනීමට උත්සහා දැරීමක් සම්බන්ධයෙන් සැකපිට නිට්ටඹුවේ විහාරස්ථානයක වැඩ සිටින අල්ගම පිහිටි පාසලක සහකාර විදුහල්පති හිමිනමක් ඇතුළු 07 දෙනෙකුගේ කණ්ඩායමක් ගලෙන්බිදුණු වැව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ පිහිටි කරුවලගස්වැව, මෙගොඩවැව පිහිටි ඉඩමක නිධානයක් ගැනීමකට මෙම පිරිසක් පෙරේදා (18) රාත්‍රී කාලයේ සිට කැණිමක් කරමින් සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඊයේ (19) උදෑසන ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වන විටත් එම ඉඩමේ කැණීමක්ද කර තිබී ඇත
සැකකාර සහකාර විදුහල්පති හිමියන් සහ ඉඩම් හිමියා අතර ඥාති සම්බන්ධකමක් ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.
නිට්ටඹුව දෙබහැර පිහිටි විහාරස්ථානයක වැඩ සිටින 40 හැවිරිදි සහකාර විදුහල්පති හිමියන් මෙහි පැමිණ ඇත්තේ උන්වහන්සේට අයත් පෙජරෝ වර්ගයේ ජිප් රථයකිනි. උන්වහන්සේ සමඟ නිට්ටඹුව සහ පස්යාලේ පදිංචිකරුවන් තිදෙනෙක්ද මෙහි පැමිණ ඇත. ඒ අයද අත්අඩංගුවට ගත් අය අතර සිටිති. ඒ එක් අයෙක් වතුපිටිවල රෝහලේ සුළු සේවකයෙක් බව පොලීසිය සඳහන් කළේය.
සෙසු තිදෙනා අතර ඉඩම් හිමියා සහ ගම්වැසියන් දෙදෙනෙක් සිටින බව පොලීසිය කියයි.