fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්6 සිට 13 දක්වා සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කරන්න තීරණයක්

    6 සිට 13 දක්වා සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කරන්න තීරණයක්

    එළඹෙන 2024 වර්ෂයේ සිට 6 ශේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    එමෙන්ම 8 ශ්‍රේණියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීම ඇරඹීමට මේ වන විට අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා කියාසිටී.

    කෘත්‍රීම බුද්ධි විෂය වෛකල්පික විෂයක් ලෙසින් හෝ විෂය මාලාවට ඇතුළත් කෙරෙනු ඇත.

    තොරතුරු තාක්ෂණ විෂයත් සමගින් සිසුන්ට එම විෂය හැදෑරීමට ඉන් පසු අවස්ථාව උදා වන බවත් අමාත්‍යවරයා කියාසිටී.

    මෙම සියලු අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයන්ට පාදක වන අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රතිපත්තිය සඳහා සති දෙකක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද සඳහන් කළේ ය.

    අධ්‍යාපන අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ දෙවන වරටත් කොළඹදී පැවත්වූ හුආවේ (Huawei) තොරතුරු තාක්ෂණ (ICT) තරගයේ ත්‍යාග සහ සහතික පත් ප්‍රදානයට එක් වෙමිනි.

    මෙරට තරුණ පරපුරේ අනාගතය රැඳී පවතින්නේ තාක්ෂණ වැඩිදියුණුවත් සමඟය.

    එබැවින් ඒ සඳහා අවකාශ විවර වන පරිදි සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා ක්‍රමානුකූල ව ඉහළ නැංවිය යුතු බව හෙතෙම කියයි.

    එහිදී උසස් අධ්‍යාපනය තුළ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍ර පාඨමාලා වැඩි කළ යුතු වේ.

    ඊට අවස්ථාව සැලසෙන පරිදි ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වලට විද්‍යා ගණිත ගුරුවරුන් ප්‍රමාණවත් ලෙස ලබා දිය යුතු ය.

    පාසල් පොකුරු හෙවත් පාසල් පර්ෂද සංකල්පය මනා සම්පත් කළමනාකරණයක් යටතේ ඊට පාදක කරගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

    අප හා සම මට්ටමේ රටවල් මේ වන විට තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 10ක් පමණ අපට වඩා ඉදිරියෙන් සිටින බව අමාත්‍යවරයා කියයි.

    21 වන සියවසේ 3 වන දශකයේ සිට ආපසු 20 වෙනි සියවසට අපට යා නොහැකි ය.

    ඉදිරි වසර පහේ දී අනිවාර්ය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක් කරා යෑමේ ඉලක්කය අප සපුරා ගත යුතු බව සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.