fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජයනාත් කොළඹගේ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට

    ජයනාත් කොළඹගේ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට

    ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරන ලද, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා එම ධුරයේ වැඩ භාරගෙන තිබේ.

    විදේශ සබඳතා පිළිබද විද්වතෙක් වන ඔහු මෑත කාලයේදී ඔහු විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ධූරයේ ද කටයුතු කළේය.

    අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවෙහි වසර 36ක සේවා කාලයකින් අනතුරුව 2014 ජූනි 01 දා විශ්‍රාම ගියේ නාවික හමුදාපති වශයෙනි. ඔහු මෙරට 18 වන නාවික හමුදාපතිවරයා යි. වීර පදක්කම් රැසක් දිනා ඇති ඔහු නාවික හමුදාවට කරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් පැසසුමට ලක් වූවෙකි.

    නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන පෙළේ විද්වත් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන පාත්ෆයින්ඩර් පදනමෙහි ඉන්දු – ලංකා ප්‍රවේශයෙහි සහ සමූද්‍රීය නීති මධ්‍යස්ථානයන්හි අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කළේය.

    ජාත්‍යන්තර දේශපාලනය, මූලෝපායික සහ සමුද්‍රීය ආරක්ෂණය හා සම්බන්ධ ක්ෂේත්‍රයන්හි පර්යේෂණ ලේඛන ඉදිරිපත් කරමින්, විද්වත් සංවාද සඳහා සහභාගීවෙමින් සහ ඒවායේ මුලසුන හොබවමින් අද්මිරාල්වරයා විවිධ ද්විපාර්ශ්වික කලාපීය සහ අන්තර්ජාතික සමුළුවලදී පාත්ෆයින්ඩර් පදනම සහ ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

    අද්මිරාල් කොළඹගේ ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ චීනයේ විශ්වවිද්‍යාල සහ පුහුණු ආයතන කිහිපයක ආරාධිත දේශකයෙකු වශයෙන් කටයුතු කර ඇත. ජාත්‍යන්තරව පිළිගත් ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක සංස්කාරකවරයෙක් සහ විශ්ලේෂකයෙක් වශයෙන් ද ඔහු ප්‍රකටව සිටී.

    අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද, මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක සහ මූලෝපායික අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය සහ ලන්ඩන් කිංග්ස් විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.

    “Asymmetric Warfare at Sea; the case of Sri Lanka” නම් වූ ඔහුගේ ශාස්ත්‍රපති නිබන්ධනය ජර්මනියේ Lambert Academic Publishing විසින් ප්‍රකාශයට පත් කර ඇත. ජයනාත් කොළඹගේ මහතා ලන්ඩන්හි Nautical Institute හි ශිෂ්‍යයෙක් ද වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.