fbpx
තවත්
    මුල් පිටුවspecialආසිරි රෝහලේ සැත්කමෙන් පසු චාමික සුව අතට

    ආසිරි රෝහලේ සැත්කමෙන් පසු චාමික සුව අතට

    ගෝල් ගැලැඩියේටර් කණ්ඩායම සමඟ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගය අතරතුර උඩපන්දුවක් රැක ගැනීමේ දී මුහුණට පන්දුව පතිතවීමෙන් පසු ගාල්ල ආසිරි රෝහලේ දී සැත්කමකට ලක් කළ කැන්ඩි ෆැල්කන් ක්‍රීඩක චාමික කරුණාරත්න මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සිටියි.

    ඒ අනුව බොහෝ දුරට හෙට (10) රාත්‍රී ජැෆ්නා කණ්ඩායම සමඟ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයට චාමික කරුණාරත්නට නැවත ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවණු ඇතැයි කැන්ඩි ෆැල්කන් කණ්ඩායමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගය අතරවාරයේ චාමික කරුණාරත්න මෙලෙස අනතුරකට ලක්වූ අතර එමගින් ඔහුගේ දත් 4ක් ගැලවී දෙතොළ පැලී තුවාල වී තිබිණි. ඒ අනුව වහාම චාමික කරුණාරත්න ගිලන් රථයකින් සූරියවැව සිට අධිවේගී මාර්ගයෙන් පැමිණ ගාල්ල ආසිරි රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයකට ලක් කර තිබිණි.

    චාමික මේ සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ කිසියම් සටහනක් තබා තිබේ. එහි සඳහන්ව ඇත්තේ එහිදී තමාගේ දෙතොල් සඳහා මැහුම් 30ක් දැමීමට සිදුවූ බවයි.

    චාමික ගාල්ල ආසිරි රෝහලේ වෛද්‍ය හා සෙසු කාර්ය මණ්ඩලය විසින් තමා සුව කිරීමට දැක්වූ දායකත්වය ගැන හෘදයාංගම ප්‍රශංසාව පුද කරමින් ඔහු ගෙනගිය ගිලන් රථ රියැදුරාට විශේෂ ස්තූතියක් පුද කර සිටියේ වාර්තාගත කාලයක් තුළ තමා රෝහල්ගත කිරීමට ඔහු තමා ගෙන ගිය බව පවසමිනි.

    සිය සහෘද ක්‍රීඩකයන් හා කාර්ය මණ්ඩලය ද ඔහු සිහිපත් කළේ තමා වෙනුවෙන් ඔවුන්ගේ ආශිර්වාදය ද තමා ඉක්මණින් සුවවීමට බලපෑ බව සඳහන් කරමින් ය.

    ගෙවුණු මාසයක පමණ කාලය තුළ සමාජ මාධ්‍ය ආදියෙහි බරපතළ විවේචනයට ලක්වූ තමා ගත කළ අසීරු කාලය තුළ හැඟුණු සියල්ල, මෙම සිදුවීමත් සමඟ තමා සමඟ සිටි පිරිස දැකීමෙන් යටපත් වූ බව ද චාමික කියයි.

    තමා වෙනුවෙන් ද තවමත් පිරිසක් ඉතිරිව සිටින බවත් ඔවුන් තමන්ට හැකි පමණ තමාට සහය වන බවත් චාමික සඳහන් කර සිටී. ඒ ගැන තමා අපමණ සතුටට පත්වන අතර ඉදිරියටත් තමා නොනැවතී ඔවුන් සියල්ලන් වෙනුවෙන් සිය උපරිමයෙන් ක්‍රීඩාවේ යෙදෙන බව චාමික අවධාරණය කර සිටී.

    “කිසිවකු තවකකුගේ සතුට වෙනුවෙන් මා ගැන ඍණාත්මක memes පළකරන්නේ නම් එයින් මට කමක් නැත. සැම කෙනකුටම තමන්ගේ මතයක් ඇති අතර එය කීමද ගැටලුවක් නැත. එය සටනක් නමුත් මා ඒ කිසිවක් සිතට ගන්නේ නැත. මටත් මගේ පවුලේ අයටත් එය දරාගැනීමේ හැකියාවක් ඇත. එහෙත් වෙනත් ක්‍රීඩකයකු/ක්‍රීඩිකාවක සම්බන්ධයෙන් එසේ කිරීමේදී සැලකිලිමත් වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. මන්ද කුමක් සිදුවුවත් ඔවුන් තම උපරිමය ලබා දීමට අඛණ්ඩව කරන කැපවීම සහ ඔවුන්ට දරාගැනීමට සිදුවන වේදනාව හෝ අන් සියල්ල අප නොදකින බැවින් ඒ ගැන ප්‍රශ්න නොකරන්න. ඒ නිසා අද හැමෝම මට සහයෝගය දුන් ආකාරයටම සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ජනතාව සහයෝගයෙන් නැගී සිටින ලෙස මම ඉල්ලා සිටිමි. මම එය ඇත්තෙන්ම අගය කරමි.

    මීළඟ තරගය සඳහා මා විවේක ගත යුතුව තිබීම ගැන මම හම්බන්තොට ජනතාවගෙන් සමාව අයදිමි. එහෙත් අනෙක් තරයට මහනුවර වෙනුවෙන් සූදානම් වෙමි. වෙනදාටත් වඩා මම ශක්තිමත්ව ‘ලොකු හිනාවක් එක්කම එන්නම්’. පල්ලේකැලේදී හමුවෙමු. හැමවිටමට තරගයේදී මගේ උපරිමය දෙනවා වගේම මගේ ජනතාව වෙනුවෙනුත් මගේ රට වෙනුවෙනුත් දිගටම ක්‍රීඩා කරන බව මා කිව යුතුයි” යැයි චාමික කරුණාරත්න ශල්‍යකර්මයෙන් පසු අදහස් දක්වමින් පැවැසීය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.