fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටයිපටි දාන ඇතැම් සුරා ව්‍යාපාරිකයන් කරන නීතිවිරෝධී ජාවාරමක් ගැන සියඹලාපිටිය කියන දේ

    ටයිපටි දාන ඇතැම් සුරා ව්‍යාපාරිකයන් කරන නීතිවිරෝධී ජාවාරමක් ගැන සියඹලාපිටිය කියන දේ

    සැබෑ සුරා බදු ආදායම අය කර ගැනීමට වත්මන් ආණ්ඩුවලට පමණක් නොව මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පවා නොහැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ‍

    සුරා බදු ආදායම ඉහළ නංවා ගැනීම යනු මධ්‍යසාර භාවිතය වැඩි කිරීම නොව බදු ක්‍රියාවලිය විධිමත් කිරීම බව අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

    “බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරට සම්පූර්ණයෙන් ම යටත් කර ගැනීමට පෙර 1810 තරම් ඈත යුගයේ දී පවා රජයේ ආදායමෙන් 7.6% විතර ලබාගෙන තියෙන්නෙ සුරා බදු ආදායමෙන්. එම වසරේ රටේ සමස්ත ආදායම රික්ස් ඩොලර් 268,700ක් පමණ වෙද්දි සුරා බදු ආදායම රික්ස් ඩොලර් 20,500ක් විතර වෙලා තියෙනවා. නමුත් එවකට සිටි බ්‍රිතාන්‍ය ජාතික ආදායම් කොමසාරිස්වරයා සඳහන් කරනවා අපට වඩා විශාල මුදලක් ව්‍යාපාරිකයන් මේ සුරා ආදායම් ලෙස ලබා ගන්නවා විවිධ උපක්‍රම භාවිත කරල කියල. මේකෙන් පැහැදිලි වන එක දෙයක් තමයි හරියට සුරා බදු ආදායම උපයා ගන්න සුද්දටත් බැරි වෙලා තියෙනව කියන කාරණාව” යැයි අමාත්‍යවරයා පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව 2004 වසරේ සිට 2016 වසර දක්වා ෙකාලය තුළ මෙරට සුරා කර්මාන්තය 95%ක වර්ධනයක් අත්කරගෙන තිබේ. එහෙත් එහි නිත්‍යානුකූල පාර්ශ්වයේ වර්ධනය පෙන්නුම් කරන්නේ 50%ක් ලෙසය. නීත්‍යානුකූල නොවන මධ්‍යසාරවල වර්ධනය 300%ක් ලෙස දැක්වෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    “මේ විදියට 300%ක් වර්ධනය වූ නීත්‍යානුකූල නොවන මධ්‍යසාර අපි කියන කැළේ කොළේ බඩවැටියේ නිෂ්පාදනය කරන ඒව නෙවෙයි. සමහර අවස්ථාවල මේ වර්ධනය සුරා බලපත්‍ර අරගෙන ටයිපටි දාගෙන ව්‍යාපාර කරන සමහර අයගෙනුත් සිදු වෙනවා. ” යැයි ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

    ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට අද එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.