fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාත්‍යන්තර සංචාරක වෙළඳ හවුල්කරුවන් 150කට වැඩි පිරිසකට ශ්‍රීලංකන් ගුවන්සේවය සත්කාරකත්වය සපයයි

    ජාත්‍යන්තර සංචාරක වෙළඳ හවුල්කරුවන් 150කට වැඩි පිරිසකට ශ්‍රීලංකන් ගුවන්සේවය සත්කාරකත්වය සපයයි

    ශ්‍රීලංකන් ගුවන් සේවය , ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සහය දැක්වීමේ අරමුණින්, නොවැම්බර් මාසයේ දී වාණිජ සමුළුවක් සහ සංචාරක වෙළඳපොළක් සඳහා ජාත්‍යන්තර සංචාරක නියෝජිතයින් 150 කට අධික සංඛ්‍යාවක් සඳහා ගුවන් සේවා සත්කාරකත්වය ලබාදීමට කටයුතු යොදා තිබේ.

    මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර සංචාරක වෙළඳ කර්මාන්තයේ නිරතව සිටින නියෝජිතයන් මෙතරම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය, “දැන් දිනෙන් දින රට ඉදිරියට යනවා. සංචාරක මාර්ගෝපදේශ ඉවත් කර තිබෙනවා වගේම රටේ ඉන්ධනත් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආශ්චර්යයන් අත්විඳීමට නැවත සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීමට අපට කාලය උදාවෙලා තියෙනවා. ජාතික ගුවන් සේවය ලෙස අපගේ ජාලය පුරා විසිරී සිටින අපගේ වටිනා හවුල්කරුවන්ට සංචාරය කිරීමට සහ කර්මාන්තය පුරා දැනුවත් කිරීමට කාලය පැමිණ තියෙනවා. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ඒ අනුව, මෙම සමුළුව ශ්‍රීලංකන් ජාලය පුරා සිටින සංචාරක වෙළඳ නියෝජිතයන් ඔවුන්ගේ නිෂ්පාදන මෙන්ම ශ්‍රී ලංකාවට සැලකිය යුතු ලෙස පිරිනමන සේවාව කෙරෙහි අවධානය යොමු කිරීමක් මෙන්ම ඔවුනොවුන් අතර ඇති සහෝදරත්වය වර්ධනය කිරීමක් වනු ඇත. මේ සඳහා පැමිණෙන නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සංචාරක අභිලාෂයන්, ගුවන් සමාගමේ වාණිජ දැක්ම පිළිබඳව දැනුවත් කෙරෙන අතර, ඕනෑම වර්ගයක සංචාරකයකුට සත්කාරකත්වය සැපයීමට දිවයිනේ සූදානම සහතික කිරීම සඳහා අත්දැකීම් ලබා දෙනු ඇත.

    මෙම සම්මන්ත්‍රණයෙන් අනතුරුව සුහද හමුවක් පවත්වනු ලබන අතර, එහිදී ශ්‍රී ලංකා සංචාරක ක්‍රියාකරුවන්ට සහ ගමනාන්ත කළමනාකරණ සමාගම්වලට ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා පැමිණෙන නියෝජිතයන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.

    ගුවන් සේවය දැනට එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වැනි ප්‍රමුඛ සංචාරක වෙළඳපොලවල් ඇතුළත් ගමනාන්ත ගණනාවක් ශ්‍රී ලංකාවට සම්බන්ධ කරයි. ජාතික ගුවන් සේවය මෑත කාලීන සියලු අභියෝග හමුවේ රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන් සඳහා අඛණ්ඩව සහාය ලබා දී ඇති අතර ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරකයින්ගේ විශ්වාසය රඳවා තබා ගැනීම සඳහා ඵලදායි ලෙස සහ ක්‍රියාකාරීව බොහෝ මුල පිරීම් මෙහෙයවා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.