fbpx
තවත්
    මුල් පිටුවspecialමුහුණුපොතෙන් එන තෑගි පාර්ස­ල­යට රැවටී සේස­තම නැති කරගන්නා මිනිස්සු

    මුහුණුපොතෙන් එන තෑගි පාර්ස­ල­යට රැවටී සේස­තම නැති කරගන්නා මිනිස්සු

    ග්‍රාම සංවර්ධන නිලධාරිනියක් වූ සුවිනීතා පදිංචිව සිටියේ කුරුණෑගල පැත්තේය. සුවිනීතාගේ සැමියා අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරත වූවෙකි.

    මේ දෙදෙනාම මුහුණු පොතේ සාමාජිකයන්ය. සුවිනීතා ඇයගේ සැමියා මෙන් නොව මුහුණු පොතට වහ වැටී සිටි තැනැත්තියක් වූවාය. ඇය නිතරම සිටියේ මුහුණු පොතත් එක්කමය. කන බොන දේ, අඳින පළඳින දේ පමණක් නොව, යන එන තැන් පවා මුහුණු පොතේ සටහන් තබන්නට ඇය පුරුදුවී සිටියාය.

    මුහුණු පොතේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ සුවිනීතාට විදේශිකයකුගෙන් දිනක් ඉල්ලීමක් ලැබෙන්නේ ඇගේ මිතුරු සමාජයට ඔහුවත් සම්බන්ධ කර ගන්නා ලෙසටය.

    මුහුණු පොතේ සිදුවන විවිධාකර වංචා කිරීම් සහ රැවටීම් ගැනද හොඳ අවබෝධයකින් සිටි සුවිනීතා ඒ නිසාම තමාගේ මිතුරෙක් වීමට ඇරයුම් කළ විදේශිකයා ගැන යම් සොයා බැලීමක් කරන්නට අමතක නොකළාය. ඒ එම විදේශිකයාගේ මුහුණු පොතේ පිටු අතර සැරිසරමිනි.

    ඇයට එහිදී පෙනී යන්නේ මෙම විදේශිකයා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් බවය. ඔහු බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කළමනාකරුවෙකි. බී. එම්. ඩබ්ලිව්. මෝටර් නිෂ්පාදන සමාගමේ ඔහු විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටින ඡායාරූප ද මුහුණු පොතේ පිරී තිබුණේය. බැලූ බැල්මට එම විදේශිකයා වංචාකරුවෙක් නොවන බව පෙනී ගිය බැවින් ඇය සිය මුහුණු පොතේ මිතුරෙක් බවට ඔහුව සම්බන්ධ කර ගත්තේ ඔහු විසින් කළ ඉල්ලීම පිළිගනිමිනි. බී. එම්. ඩබ්ලිව් මෝටර් රථ සමාගමේ අලුත් නිෂ්පාදන මෝටර් රථ ගැන ඔහු නිතර ඇයව මුහුණු පොත හරහා දැනුම්වත් කළේය. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන මෙන්ම රටේ පවතින දැඩි ආර්ථික ප්‍රශ්න ගැන ඇය ඔහුව දැනුම්වත් කළේය.

    සුවිනීතා දරු දෙදෙනෙකුගේ මවකි. ඒ බව ඇය සිය විදෙස් මිතුරාට පවා කියා තිබුණාය. මුහුණු පොතේ පිටු අතරේ ඇය සිය සැමියා සහ දරුවන් සමඟ සතුටින් සිටින ඡායාරූපද බොහොමයක් තිබුණාය.

    “ ලස්සන පවුලක්“ විදෙස් මිතුරා එම ඡායාරූප දුටු විට සටහන් තබන්නට වූයේ එසේය.

    සුවිනීතාගේ බාල දියණියගේ උපන්දිනය යෙදෙන්නේ ඔය අතරතුරදීය. ඇය කුඩාවට උපන්දින සාදයක්ද සංවිධානය කළේ කේක් කපා දියණියගේ පාසල් මිතුරන් කිහිප දෙනෙක්ද කැඳවා සංග්‍රහ කරමිනි. එම සාදයේ ඡායාරූප ඇය ඒ මොහොතේම මුහුණු පොතට ඇතුළු කළාය.

    “ඇයි මට කිව්වේ නැත්තේ දුවගේ උපන්දිනේ ගැන. මට පොඩි තෑග්ගක් එවන්න තිබ්බා. ඉන්නකෝ මම අද වැඩ ඉවරවෙලා යන ගමන් කෙලි පොඩික්කිට තෑග්ගක් ගන්නම්“ මුහුණු පොතේ විදෙස් මිතුරා ඇයට ඒ පණිවුඩය තබන්නේ දියණියගේ උපන්දින සාදයේ ඡායාරූප දැකීමෙන් අනතුරුවය.

    ඊට පැය කිහිපයකට පසු ඇගේ මුහුණු පොතට විදෙස් මිතුරාගෙන් ලැබෙන්නේ ඡායාරූපයකි. එහි වූයේ පෙට්ටියක බහා ඇති ඇපල් සමාගමේ අලුත්ම නිෂ්පාදිත ජංගම දුරකතනයක්, ලැප්ටොප් පරිගණක දෙකක් සහ කාන්තා සහ පිරිමි ඇඳුම් කිහිපයකි. ඊට පසු තවත් ඡායාරූපයක් ඇගේ මුහුණු පොතට ආවේය. එහි වූයේ ඇමරිකානු ඩොලර් නෝට්ටු මිටියකි.

    “ඔයාටයි ඔයාගේ දරුවෝ දෙන්නටයි මගෙන් පොඩි තෑග්ගක්. මම ලංකාවට දෙසැම්බර් නිවාඩුවට එනවා. එතකොට ගොඩක් තෑගි ගේනම්. අදම මම මේ තෑග්ග කූරියර් කරනවා.“ යැයි පණිවුඩයක් තබමින් ඔහු ඇගෙන් මේ තෑග්ග එවිය යුතු ලංකාවේ ලිපිනයද ඉල්ලා තිබුණේය.

    දින කිහිපයකට පසු ඇගේ ජංගම දුරකතනයට වට්ස්ඇප් ඇමතුමක් එන්නේ ජාත්‍යන්තර කීර්තියට ලක්වූ කූරියර් සමාගමක නමක් පවසමිනි.

    “ඔයාට ඕස්ට්‍රේලියාවෙන් පාර්සලයක් ඇවිල්ල තියෙනවා. ඒක එයාර්පෝට් එකෙන් රිලීස් කරන්න පොඩි ගාණක් යනවා. අපේ කොළඹ ඔෆිස් එකට ඇවිල්ල ඔයාට පුළුවනි අවශ්‍ය ගෙවීම් කරන්න. එහෙම නැතිනම් මම එකවුන්ට් නම්බර් එකක් දෙන්නම් ඒකට සල්ලි දාන්න.“ යැයි ඒ ඇමතුම ලබාගත් පුද්ගලයා ඇයට කීවේය.

    එම වට්ස්ඇප් ඇමතුම ඇයට ලැබුණේ මෙරට දුරකතන අංකයකිනි. සිය අනන්‍යතාව පවා ඔහු ඇය හමුවේ පවසන්නට විය. ඒ අනුව ඔහු කූරියර් සේවාවේ නිලධාරියෙකි. පාර්සලයක් ඕස්ට්‍රේලියාවෙන් ඇවිත් යැයි කියන විටම සුවිනීතාගේ මතකයට ආවේ සිය මුහුණු පොතේ විදෙස් මිතුරා ගැනය. කොළඹට ගොස් රස්තියාදු වෙනවාට වඩා කූරියර් සමාගමේ ගිණුමට මුදල් බැර කිරීම පහසු බව වැටහුණු බැවින් ඇය ඔහුට පවසන්නේ ගිණුම් අංකයට මුදල් බැර කිරීම පහසු බවය. ඒ අනුව වට්ස්ඇප් ඇමතුමෙන් ආ කූරියර් සමාගමේ නියෝජිතයා ගිණුම් අංකයක් ඇය හමුවේ තබමින් රුපියල් ලක්ෂයක් ගිණුමට බැර කරන ලෙස දැනුම් දෙමින් ඇමතුම හමාර කළේය.

    ඇය මේ ගැන දෙපාරක් සිතන්නට ගියේ නැත. මුහුණු පොතේ විදෙස් මිතුරා එවූ තෑගී පාර්සලයේ ඇති දේවල් ගැන ඡායාරූපයෙන් දැක තිබුණු බැවින් ඊට වහ වැටී සිටි ඇය ඒ කියූ මුදල එදාම බැංකුවට ගොස් ගිණුම් ගත කරමින් වට්ස් ඇප් පණිවුඩයක් මඟින් ඒ රිසිට් පතේ ඡායාරූපයක්ද ඇමතුම ලද දුරකතන අංකය වෙත යොමු කරනු ලැබීය.

    “මිස් මාර වැඩක්නේ වෙලා තියෙන්නේ කස්ටම් එකෙන් පාර්සලේ චෙක් කරල. ඒකේ කෝටියක් විතර වටින ඩොලර් තියෙනවාලු. අනික එවල තියෙන බඩුවලත් වටිනාකම වැඩි නිසා කස්ටම් එකෙන් දඩයක් ගහල. ලක්ෂ 08ක්. ඒ ගාන ගෙවනකම් කස්ටම් එකෙන් පාර්සලේ නිදහස් කරන්නේ නැහැ.“ පසුදින ඇයට කූරියර් සමාගමේ පෙර කතා කළ නියෝජිතයා වට්ස් ඇප් ඇමතුමකින් කියා සිටින්නට වූයේ මෙවැනි කතාවකි.

    “දැන් මොකද කරන්නේ“ ඇය තමාටම කියා ගත්තාය.

    “කෝටියක ඩොලර්“ ඇයට ඒ ගාන ගැන හිතා ගන්නටවත් බැරිය.

    ඇය සිය මුහුණු පොතේ විදෙස් මිතුරාට මුහුණු පොත ඔස්සේම මේ ගැන කියා පණිඩුඩයක් තැබුවාය.

    “මම දැනන් හිටියා ඔයාලගේ රටේ කස්ටම් එකෙන් පාර්සලේ චෙක් කරයි කියල. ඒ නිසයි සල්ලි ටිකකුත් එව්වේ. ඔයා අතේ තියෙන සල්ලිවලින් පාර්සලේ රිලීස් කර ගන්න. පාර්සලේ ඇතුළේ තියෙන සල්ලි ටික ඔයාල පස්සේ ගන්න.“ ඔහු ඊට ප්‍රතිචාර දක්වන්නට වූයේ එසේය.

    ඒ වන විට සුවිනීතා අතේ යහමින් මුදලක් අත ගැවසුණාය. ඒ ඇය සතුව තිබුණු මෝටර් රථය විකුණා ලබා ගත්තකි. ඊට අමතරව ඇය අත බැංකුවකින් ලබාගත් ණය මුදලක්ද තිබුණාය. එම ණය මුදල ඇය විසින් ලබා ගෙන තිබුණේ මෝටර් රථය විකුණා ලබා ගත් මුදලත් සමඟ එකතු කර අලුත් මෝටර් රථයක් මිලදී ගැනීම වෙනුවෙන් වැය කිරීම සඳහාය. ඇය එම මුදලින් ලක්ෂ 08ක් බැංකු ගත කරනුයේ සිය සැමියාටද පවසාය.

    එය එතැනින් හමාර වූයේ නැත. රේගු පරීක්ෂාවට ලක්වූ එම පාර්සලය ගැන පොලිස් වාර්තාවක් ගැනීමට අවශ්‍ය යැයි කියා තවත් ලක්ෂ 07ක් ඒ ආකාරයටම කඩා ගත්තේය. මෙසේ විවිධ හේතු කියමින් මෝටර් රථයක් මිලදී ගැනීමට ඇය අත වූ රුපියල් ලක්ෂ 23ක් අවසන් වන තුරුම පාර්සලය නිදහස් කර ගැනීම වෙනුවෙන් මුදල් බැංකුවට දම්මා ගත්තේය. තමා මේ හසුවී ඇත්තේ වංචාවකට බව ඇයට වැටහෙන්නේ අතේ තිබුණු සේසතම විනාශ කර ගැනීමෙන් අනතුරුවය.

    සුවිනීතා ලක්ෂ 23කින් බේරුණත් ඊට එහා විශාල වශයෙන් මෙම වංචාවට හසුවී මුදල් අහිමි කරගත් අය බොහෝය. රුපියල් කෝටියක් දෙකක් පමණක් නොව මෙම තෑගි පාර්සල් වංචාවට හසුවී රුපියල් කෝටි 05ක මුදලක් අහිමි කර ගත් අයෙක්ද සිටින්නේය. ඒ තැනැත්තා ව්‍යාපාරිකයෙකි. මධ්‍යම පළාතේ පදිංචිකරුවෙක් වන ඔහු මෙරට ප්‍රමුඛ පෙලේ සන්නාමයක් සහිත වයර් සහ විදුලි උපාංග මධ්‍යම පළාත තුළ බෙදාහරින නියෝජිතවරයෙකි. මේ කියන ව්‍යාපාරිකයාට අපි අරුල් යැයි කියමු.

    අරුල් හසු වන්නේ මුහුණු පොතෙන් ආ අමෙරිකානු හමුදාවේ සෙබළියකගේ වෙස්ගත් වංචාකරුවකුටය. ඔහුට සිදුවන්නේද සුවිනීතාට වූ දෙයමය. අරුල්ට ද තෑගි පාර්සලය එන්නේ සිය දියණියගේ උපන්දිනය වෙනුවෙනි. ඔහුට කියන්නේ රුපියල් කෝටි අටක් පමණ වටිනාකමක් ඇති අමෙරිකානු ඩොලර් පාර්සලයේ ඇති බවකි. ඊට රැවටෙන ඔහු එම පාර්සලය නිදහස් කර ගැනීමට බැංකු ගිණුමට මුල් අවස්ථාවේදී බැර කරන මුදල රුපියල් ලක්ෂ 20කි. අනතුරුව අරුල්ට සිදුවන්නේ රුපියල් ලක්ෂ විසි පහ තිහ ආදී වශයෙන් මුදල් බැංකු ගිණුම් රැසකටම බැර කරන්නටය.

    මෙසේ ඔහු කෝටියක් දෙකක් අහිමි කර ගන්නා විට තමා උගුලකට හසුවී ඇති බවවත් ඔහුට වැටහුණේ නැත. ඒ තරමට ඔහුව රැවටීමට ලක්කර තිබුණේ පාර්සලයේ ඇති කෝටි 08 ක මුදල ය.

    “සර්, කෝටි අටක ඩොලර් කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. කස්ටම් එකට ගාණක් දීල පාර්සලේ කොහොම හරි එළියට ගමු. එහෙම නැති වුණොත් කස්ටම් එක පොලිසියට පාර්සලේ බාර දෙයි. එතකොට සර්ට සිද්ධ වෙන්නේ හොර පාරෙන් ඩොලර් බිස්නස් එකක් කරනවා කියල හිරේ යන්න තමයි“ යැයි කියාද අරුල්ව බිය ගැන්වීමට පවා මේ වංචාවේ පිටුපස සිටින මහ මොළ කිහිපය වග බලාගෙන තිබුණේය.

    හිරේ විලංගුවේ වැටීමට ඇති බිය නිසාත් අහිමි වන මුදල පාර්සලයේ තිබෙන කෝටි 08න් හිලව්කර ගැනීමට සිතා ගෙනත් අරුල් ඒ ඉල්ලා සිටි හැම මුදලක්ම බැංකු ගත කළේය. ඒ අතේ ඇති මුදල් හමාර වූ පසු මුලින්ම මෝටර් රථය විකුණා දමාය. අනතුරුව ඔහු තමාට අයත්ව තිබුණු ඉඩමක්ද විකුණුවේය. එයින්ද සෑහීමට පත් නොවූ තැන තමා ජීවත්වන නිවෙස සමඟ ඉඩම උකස් කළේය. එයින්ද නොනැවතුණු අරුල් සිය මිතුරෙකුගෙන් පොලියට මිලියන 05ක් ගෙන එයද බැංකු ගත කර අහිමි කර ගත්තේය. අරුල්ටද සියල්ල වැටහෙන්නේ හැම දෙයක්ම අහිමි වී ගොස් මිතුරා මිලියන 05 ඉල්ලා නඩු මඟට බැසීමත් සමඟිනි.

    ඒ වන විට අරුල් අවස්ථා 200කදී බැංකු ගිණුම් 80ට බැරකර තිබුණු මුදල පමණක් රුපියල් කෝටි 05කි.

    මෙසේ තෑගි පාර්සල්වලට රැවටී අරුල් සහ සුවිනීතා මෙන් විශාල වශයෙන් මුදල් අහිමි කරගත් පිරිස බොහෝය. ඒ අයගෙන් වැඩි දෙනෙක් ලැජ්ජාව නිසාම ඒ ගැන පොලිසියකට පැමිණිලි කරන්නට ඉදිරිපත් වන්නේ නැති තරම්ය. පොලිසියකට ගියද පොලිසියෙන් එල්ල වන්නට වූයේ රැවුම් ගෙරවුම්ය.

    සුවිනීතාලාගේ සහ අරුල්ලාගේ පැමිණිලි පොලිස් පොතට පමණක් සීමා වන විට මහ බැංකුව නම් මේ ගැන බකන් නිලාගෙන සිටියේ නැත. මුහුණු පොතේ තෑගි පාර්සල් වංචාව ගැන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයෙනි. ඒ මුහුණු පොතෙන් සිදුවූ මේ වංචාවට හසු වූ සුවිනීතාලා සහ අරුල්ලා තමන්ව රවටා මුදල් බැර කරගත් ගිණුම්වල හිමිකරුවන් සොයා බැංකු පීරන විට ඒ ගැන මහා බැංකුවට ලැබුණු තොරතුරු ගොන්නක්ද සමඟිනි.

    නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මෙම පැමිණිලි විමර්ශනයට ලබාදුන්නේ ප්‍රමුඛත්වයකි. විශේෂ පොලිස් කණ්ඩායමක්ද ඔහු ඒ වෙනුවෙන්ම නම් කළේය. වෙනම ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන එම පොලිස් කණ්ඩායම මුලින්ම කරනු ලැබුවේ මෙම වංචාව ගැන දීර්ඝ ලෙස අධ්‍යයනයක නිරත වීමය. ඒ සඳහා අවශ්‍ය සහය විටෙන් විට ශ්‍රී ලංකා මහ බැංකුවෙන්ද තොරතුරු ලබා ගත්තේය.

    එහිදී විමර්ශන කණ්ඩායම වෙත පෙනී යන්නට වූයේ මෙම වංචාව පිටුපස සිටින මහ මොළ කරුවන් නයිජීරියානුවන් පිරිසක් බවය. සංචාරක වීසා මඟින් මෙරටට පැමිණ වීසා කාලයද ඉක්මවා ගොස් මෙරට රැඳී සිටින එකී නයිජීරියානුවන් පිටරටවල සිටින තවත් පිරිසක් සමඟ එක්ව මෙම වංචාව සිදු කරනුයේ අපේ රටේද පිරිසක් සමඟ එක්ව බව ද වැඩිදුර විමර්ශනයේදී පෙනී ගියේය. ව්‍යාජ ගිණුම් ඔස්සේ විදේශිකයන්ගේ ඡායාරූප මඟින් මුහුණු පොතේ පෙනී සිට ඇත්තේ නයිජීරියානුවන්ය.

    විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මෙරට රැඳී සිටිමින් මෙම වංචාවට සම්බන්ධව සිටින නයිජීරියානුවන් සිංහල භාෂාව පවා කතා කිරීමටද හැකියාවක් ඇති අය බවය. ඒ අය වැඩි හරියක් ගැවසෙන්නේ ගල්කිස්ස, රත්මලාන, දෙහිවල ආශ්‍රිත ප්‍රදේශවලය. ඇතැම් නයිජීරියානුවන් මෙරටට රැඳී සිටින්නේ වසර 10ක තරම් වූ කාලයක සිටය. අපේ රටේ ඇතැම් කාන්තාවන් සමඟ එකට ජීවත්වන අයද ඒ අතර නැතුවාම නොවේ. ඒ අයගෙන්ද වැඩි දෙනෙක් මෙරටට පැමිණ ඇත්තේ අධ්‍යාපන වීසා මගිනි. මේ අය මෙම වංචාව සිදු කිරීමට අපේ රටේ කිහිප දෙනෙක්ද සම්බන්ධ කර ගනිති. ඒ බැංකු ගිණුම් විවෘත කර ගැනීමටය. විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මේ වංචාවට යොදා ගත් වැඩි හරියක් බැංකු ගිණුම් බැංකු සමඟ ජීවිතේට ගනුදෙනුකර නැති මත්කුඩු පානයට ඇබ්බැහි වූවන්ගේ බවය. මොවුන් කරන්නේ මත්කුඩු ලෝලීන්ට මත්කුඩු පානය කිරීමට රුපියල් 5000ක් හෝ 10,000ක් අතමිට මොලවා ඒ අයගේ නමින් බැංකු ගිණුමක් විවෘත කර ගැනීමය. ඒත් එක්කම ඒ. ටී. එම් කාඩ්පතක්ද එම ගිණුමට අදාළව ලබා ගැනීමට කටයුතු කරන නයිජීරියානුවන් අරුල්ලා සහ සුවිනීතලා වැන්නවුන් රවටමින් මුදල් බැර කර ගන්නේ එම බැංකු ගිණුම්වලය. එම මුදල් එසැණින් ගිණුමෙන් ඉවත් කර ගන්නේ ඒ.ටී.එම්. කාඩ්පත් වලිනි. මෙම ගිණුම්වලට බැර වන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් අවසානයේදී උණ්ඩියල් ක්‍රමයට ඇදී යන්නේ පිටරටවල් වලටය. ඒ රටේ ආර්ථිකයටද ලොකු බලපෑමක් කරමිනි.

    නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් දීර්ඝ විමර්ශකයකින් අනතුරුව මෙම ජාවාරමේ සැඟවුණු මෙවන් බොහෝ තොරතුරු හෙළි කර ගත්තේය. නයිජීරියානුවන් සමඟ මෙම ජාවාරමට සම්බන්ධ මෙරට ජාලය පවා විමර්ශකයෝ හඳුනා ගත්හ. ඒ අනුව මෙම ජාලයේ එක් මහ මොළයක් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කොටු කර ගත්තේ ඉකුත් සතියේදීය. මොහොමඩ් ඉම්රාන් නැමැති ඔහු හිඹුටානේ අයෙකි. තිස් හැවිරිදි වියේ පසුවන ඔහු පරිගණක ඉංජිනේරුවරයෙකි. හෙළිවී ඇති අකාරයට පෞද්ගලික බැංකු දෙකක ඇති ඉම්රාන්ට අයත් ගිණුම් දෙකකට බැරවී ඇති මුදල රුපියල් එක්කෝටි දහසය ලක්ෂ විසිහත්දහස් එකසිය හැත්තෑපහකි. නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඉම්රාන් මෙන්ම නයිජීරියානුවන්ගේ මෙරට නියෝජිතයන් කිහිප දෙනෙකුවම හඳුනාගෙන සිටිති. ඒ අයව මෙන්ම මෙම වංචාවේ මහ මොළකරුවන් වන නයිජීරියානුවන් ද කොටුකර ගැනීමට මේ වන විටත් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් දැල එළා හමාරය.

    ගයාන් කුමාර වීරසිංහ
    Silumina

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.