fbpx
තවත්
    මුල් පිටුවspecialරිළවාට වැටහෙන සරල බණ

    රිළවාට වැටහෙන සරල බණ

    කාබනික පොහොර ජරමරේ හේතුවෙන් කරගෙන් ගිය වගාව පාළු වුවත් අඩලෙට් කරගෙන ගිය පැක්ටරි ටෙම්පරියත් ආර්ථික අවපාතය හේතුවෙන් වැහිල ගියත් අමරබන්දු තවමත් සිතන්නේ “පොසිටිව්” මිනිසෙකු ලෙසිනි. ඔහු එකක් වැහෙනකොට ගෙදර උන්ගේ බඩ කටවල් පුරවන්නට තවත් මගක් සොයා ගනී.

    “ආ.. හොදයි පුතා, දැන් එහෙනං නන්දසේන මිනිස්සුන්ට බයේ පස්ස දොරෙන් පැනල ගියපු විදිහ කරල පෙන්නපං” යැයි අණ කළ විට ඔහු කරේ හිද සිටිනා රිළා මොටා බිමට පැන සිය සුරතේ වූ කෝටු කැබැල්ල වීසි කොට පස්ස නොබලා දිව ගොස් අසල ගසකට නැග ගනියි.

    “එහෙනං පුතා නෙට්ෆ්ලික්ස් බලබල හිටපු වික්‍රමසිංහ මහත්තය කාටත් හොරෙං රජ ගෙදරට රිංගපු හැටි පෙන්නපං” යැයි අණ කළ සැණින් රිළා මොටා අත්තෙන් බිමට පැන විසික්කා කළ කෝටුවද කරේ හොවාගෙන හොරෙකු මහ රෑ ගෙට පනින්නා සේ වකුටුව අමරබන්දුගේ දෙපා අතුරින් රිංගයි.

    දැන් අමරබන්දු හන්දියේ රිළවෙක් නටවයි. පුල්ලි වැටිච්චි පුන්චි කලිසම් කොටයක් කමිසයක් අන්දවා ගත් රිළවා නටවමින් ගමින් ගමට සංක්‍රමණය කරයි. ඔහුගේ රිළවා නටන නැටුම් බලන්නට මිනිසුන් පොදි කයි, රිළවා වික්‍රමසිංහ මහත්තයා වගේ අමරබන්දුගේ දෙපා අතුරින් රිංගන විට රැස්ව සිටින මිනිසුන් ප්‍රීතියෙන් පිනා ගොසින් කාසි නෝට්ටු “සට සට” ගා ඔහුගේ බිම එළා ඇති කර ලේන්සුව වෙතට විසි කරයි. එය දකින කෝපි කඩේ මුදලාලි පවසන්නේ

    “අමරබන්දුත් හරියට අපේ වික්‍රමසිංහ ජනාධිපතිතුමා වගේ බින්දුවටම වැටුනත් ඔටුනු පලදින්න රුසියා” කියාය.

    එදින අමරබන්දුත් රිළා හාමිත් ගෑටූ ටවුම උඩින් අතොරක් නැතිව අහස් යාත්‍රා අහසේ ගමන් කරන්නට වූයෙන් තමනුත් රිළවාත් නිච්චි කළේ තමන් මේ සේන්දු වී ඇත්තේ කටුනායකට බවය. එලෙස සිතා වාඩි ගසන්නට සිතුවා පමණි තමන් අසල සීරුවට නැවතූ කළු පැහැ බෙන්ස් රථය හේතුවෙන් අමරබන්දු උඩ ගොස් බිම වැටුණේය.

    “හෙලෝ අමරබන්දු, කොහොමද අයිසේ..” අදුරු පැහැ අවු කණ්ණාඩි යුවළක් පැළද තමන්ගෙන් සුවදුක් විමසන වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැකීමෙන් හෙතෙම නැවතවරක් උඩ ගොස් බිම වැටුනේය.

    “අනේ සෑර්ලගෙ පිහිටෙං ඔහේ ඉන්නවා සෑර්” කියා බිම බලා ගත්තේ එම ප්‍රශ්නය ඉදිරියේ තවත් කියන්නට යමක් ඉතිරිව නොතොබූ බැවිනි.

    “ඇයි අයිසේ එහෙම කියන්නේ, දැං ඉස්සර වගේ නෙවෙයිනෙ ප්‍රශ්න අඩුයිනේ නේද” ජනාධිපතිවරයා ඇසූ පැනයෙන් අමරබන්දුගේ ඉහ මොළ රත් වුවද ඔහු මූන බලාගෙන නැහැයි, බැහැයි කියන්නේ කොහොමද කියා “එහෙමයි” කීවේ බයාදු ස්වරයෙනි.

    “මම මේ ගියා ජපානේ මළගෙදරක අර අබේ මලානෙ” ජනධිපතිවරයා දිගටම කියවයි.

    “දින හතම නිදිමරන්න ඇති මයෙ හිතේ” අමරබන්දු විමසුවේ කුතුහලයෙනි.

    “මොන.. ජපානෙ ගිහිං කරන්න දෙයක් නැහැ අනේ, ඔන්න රැජිනගෙ මළගමට ගිහිං නං දවස හතත් නයිට ගහල ලන්ඩන්වල තව ටුවර් එකකුත් දාල ආවේ” ඔහු ඇගටපතට නොදැනී පැවසුවේය.

    “සෑර් ජපානෙ ගිය අල්ලපනල්ලේ කළුතරිං නෙළුම් පොහොට්ටුව ආයෙත් පීදිගෙන එනව නේද, ආන්න සමහරු අඩුවත් එක්ක. ඒ මදිවට ඔබතුමාව යහමගට ගත්ත කියලත් කිව්ව මම අහගෙන” අමරබන්දු පැවසුවේ ජනාධිපතිවරයාට රිද්දන්න හිතානය.

    “වට් නොන්සන්ස් අයිෂෙ, ඔය පොහොට්ටුව සදා පොහොට්ටුව තමයි, ඕක පිපෙන්නේ නැහැ, වැඩිය දගළන්න ආවොත් මම තියනවා ජනමත විචාරණයක්, එතකොට ඕක සදා පර වෙලා යයි” ඔහු කීවේ ගර්වයක් ලා රෝස මුවෙහි දවටාගෙනය.

    “ඒ කියන්නේ තවත් ඡන්දයක් තියනවද මේ ජරමර අස්සෙ, අනේ සෑර් අපිට හරියට කන්න අදින්නවත් නැති වෙලේ” අමරබන්දු පින්සේණ්ඩු වන්නට වූයේ බියෙනි.

    “දැන් පොහොට්ටු කාරයො දගළනව වැඩියි, ඕකුංගෙ කටවල් වහන්න ඕනෙනම් ජනමත විචාරණයක් තියන්නම ඕනේ, තමුසෙලාට කන්න නහැ කියල, මගේ පොලිටිකල් ස්ටැබිලිටි එක නැති කර ගන්න බැහැනෙ අයිසෙ.” කියාගෙන ඇගට පතට නොදැනී එතුමාගේ බෙන්ස් රථයෙන් පියඹා ගියේය.

    අමරබන්දුට “හික්” ගෑවුනේය. ඒ අල්ලපනල්ලේ ඔහුගේ කරෙහි වූ රිළාමොටා ඔහුගේ ගෙළ බදා කෑගසා සිනහසුනේය.

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    තිලංග ෆොන්සේකා
    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    ඔබේ අදහස් දක්වන්න.