fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගැන සම්මත යෝජනාවට අඩකට වැඩි පිරිසකගේ සහය නෑ

    ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගැන සම්මත යෝජනාවට අඩකට වැඩි පිරිසකගේ සහය නෑ

    ස්විටර්ලන්තයෙය් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අද ශ්‍රී ලංකාව පිළිබඳ සම්මත කර ගනු ලැබු නව යෝජනාව මෙරට රජය ප්‍රතික්ෂේප කර තිබේ.

    ශ්‍රී ලංකාවේ අදහස් විමසීමකින් හෝ එකඟතාවකින් තොරව ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන මැයෙන් වූ A/HRC/51/L.1 (Rev.1) දරණ මෙම යෝජනාව, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ අමෙරිකාව විසින් සභාගත කරන ලද්දකි.

    යෝජනාවට විරුද්ධ ශ්‍රී ලංකාවේ ස්ථාවරයට සහය පළ කරමින්, පකිස්තානයේ නියෝජිත පිරිස ඡන්දයක් ඉල්ලා සිටියහ.

    පකිස්ථානය, බ්‍රසීලය, චීනය, වෙනිසියුලාව, ජපානය සහ කොරියානු ජනරජය යන රටවල නියෝජිතයන් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් ප්‍රකාශ සිදුකළේය.

    අද (06) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී මෙම යෝජනාව පිළිබඳ පැවැත්වූ ඡන්දයේදී ඊට පක්ෂව ඡන්ද 20ක් හිමිවිය.

    බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පකිස්ථානය, උස්බෙකිස්තානය සහ වෙනිසියුලාව යන රටවල් 07 ක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

    ඡන්ද විමසීමේදී ඉන්දියාව,ජපානය, ඉන්දුනීසියාව, මලයාසියාව, නේපාලය, කටාරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බ්‍රසීලය ද ඇතුළුව රටවල් 20ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබුණි.

    රටවල් 20 ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමත් සමඟ සමස්ත කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් යෝජනාවට සහාය නොදැක්වූහ

    දේශීය ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති වැනි කවුන්සිලයේ රාමුවෙන් බැහැර කරුණු පිළිබඳ යෝජනාවේ සඳහන් කරුණුවලට එම කවුන්සිලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ විදේශ අමාත්‍ය සබ්රි විරෝධය පළ කළේය.

    මානව හිමිකම් කවුන්සිලය සාමාජික රටවල් 47 කින් සමන්විත ය. අප්‍රිකානු රාජ්‍යයන් 13 ක්, ආසියා පැසිෆික් ප්‍රාන්ත 13 ක්, ලතින් ඇමරිකානු සහ කැරිබියන් රාජ්‍යයන් 8 ක්, බටහිර යුරෝපය සහ අනෙකුත් ප්‍රාන්ත 7 ක් සහ නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් 6 ක් ඊට ඇතුළත් වේ.

    මේ වනවිටට පැවවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය පසුගිය සැප්තැම්බර් 12 වනදා ආරම්භ විය. එය ඔක්තෝබර් 07 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වෙයි.

    ඔබේ අදහස් දක්වන්න.