fbpx
තවත්
    මුල් පිටුවspecialඅවුරුදු 5ට අඩු දරුවන් සිටින මාපියන්ට විශේෂ දැනුම්දීමක්

    අවුරුදු 5ට අඩු දරුවන් සිටින මාපියන්ට විශේෂ දැනුම්දීමක්

    අවුරුදු 5ට අඩු දරුවන් සිටින මාපියන් ‘පෝෂණ මාසය’ ලෙස නම් කර ඇති මෙම මාසය තුළදී සිය දරුවාගේ බර කිරාගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය දැනුම් දෙයි.

    මෙම මාසය තුල දී රටපුරා වයස අවුරුදු පහට අඩු සියලුම දරුවන්ගේ වර්ධන තත්ත්වය පරීක්ෂා කිරීම මෙහිදී සිදුකෙරේ.

    රජය විසින් මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ වසර පුරාවටම ඒඒ ප්‍රදේශවලදී දී සිදුකෙරෙන උස/ බර මැනීමේ ක්‍රියාවලියට අමතරව ය.

    දැයේ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ගවලටත් මෙය වැදගත් බැවින් මෙම මාසය තුළදීද දරුවාගේ බර මැනගැනීමේ වැදගත්කම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පෙන්වා දෙයි.

    ඒ පිළිබඳ එම කාර්යංශය විසින් නිකුත් කර ඇති පණිවිඩය මෙසේය.

    “ශ්‍රී ලංකාවේ දැනට ඇති වී පවතින ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්ත්වය හමුවේ, දරුවන්ගේ පෝෂණය ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන්ම වේගයෙන් වැඩෙන කුඩා දරුවන්ට, වයසට සරිලන නිසි පෝෂණයක් නොලැබුනහොත් ඔවුන් උරුම කරගත් උපරිම වර්ධන සීමාවන්ට ලඟා වෙන්නට නොහැකි වන්නට ඉඩ තිබෙනවා වාගේම පෝෂණ ඌණතා නිසා හටගන්නා රෝගාබාධවලට ලක්වීමේ අවදානමකුත් පවතිනවා. මේ කරුණු සැළකිල්ලට ගනිමින් 2022 ඔක්තෝබර් – “පෝෂණ මාසය” තුල විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ සැළසුම් කර තිබෙනවා.

    දරුවෙකුගේ පෝෂණ මට්ටම ප්‍රශස්ත තත්ත්වය පවත්නා බවට තහවුරු කර ගැනීමට යොදා ගන්නා මූලිකම මිනුම් වශයෙන් උස සහ බර සඳහන් කළ හැකියි. මෙම ඔක්තෝබර් මාසය තුල දී වයස අවුරුදු පහට අඩු සියලුම ශ්‍රී ලාංකික දරුවන්ගේ බර සහ උස/දිග මැන සටහන් කිරීමටත්, වයසට අදාළව වර්ධන තත්වය ප්‍රමාණවත් දැයි තක්සේරු කිරීමටත් මේ වනවිට සැළසුම් කර අවසන්. කඩිනමින් සක්‍රීය කිරීමට කිරීමට නියමිත හදිසි පෝෂණ වැඩසටහ සඳහා මෙම දත්ත ඉතා වැදගත් වනු ඇති. මෙම සමීක්ෂණය ක්‍රියාවලිය වෙනත් වසරවල පෝෂණමාසවල සිදුකලේ තොරාගත් සාම්පලයක් යොදාගෙන වුවත් මෙවර වයස අවුරුදු පහට අඩු මිලියන 1.5 ක් වූ සමස්ත දරු පිරිසම සම්බන්ධ කරගැනීම සුවිශේෂී පියවරක්. එමන්ම, මෙම සමීක්ෂණය සිදුවන්නේ වසර පුරාවටම ක්ෂේත්‍රයේ දී සිදුකෙරෙන උස/ බර මැනීමේ ක්‍රියාවලියට අමතරවයි.

    ඔබ සාමාන්‍යෙන් දරුවාගේ වර්ධනය (උස /බර) මැන බලන්නේ පුද්ගලික සෞඛ්‍ය ආයතනයකින් වුවත් හැකි නම් මේ මාසයේ ඒ සඳහා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිනිය වෙත යොමුවන ලෙසත්, දැනටමත් එසේ උස හා බර මැනගෙන අවසන් නම් එම තොරතුරු ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය වෙත ලබා දෙන ලෙසත් අප කාරුණිකව ඉල්ලා සිටිනවා.

    දරුවාට වයස අවුරුදු පහට අඩු නම් , මේ මාසය ඇතුලත දී ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය විසින් පවත්වන පෝෂණ මට්ටම ඇගැයීමේ වැඩසටහනට යොමු වීම, පුද්ගලිකව ඔබට මෙන්ම පොදුවේ රටටත් විශාල වැදගත්කමක් ඇති කටයුත්තක්. ඔබේ දරුවාගේ පෝෂණ මට්ටම සතුටුදායකනම් ඒ බව තහවුරු කිරීම හෝ එසේ නොවේනම්, ගැටලුවේ තීව්‍රතාවය අනුව අදාළ උපකාර ලබාදීම සහ විශේෂ සායන වෙත යොමුකිරීම් සිදු කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතයි. වර්ධනය අඩු බවට හඳුනාගන්නා දරුවන් යළි සාමාන්‍ය තත්වයට පත් කරගන්නා ක්‍රියාවලිය අතරතුරු දිගින් දිගටම ඔවුන්ගේ පෝෂණ මට්ටම පරීක්ෂා කරමින් අවශ්‍ය සේවාවන් ලබා දීමට ද අපේක්ෂිතයි.

    වයස අවුරුදු පහට අඩු දරුවාට නිසි පෝෂණයක් ලැබේදැයි තක්සේරු කරගැනීමට මේ මශඟු අවස්ථාව උපයෝගී කරගන්නා අතරේම, වඩාත් යාවත්කාලීන වූ නිවැරදිම දත්ත එක් රැස් කර ගැනීමට සහය දීම තුලින් දැයේ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ගවලටත් අත්වැලක් වන්නට ඔබ කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.