fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයෙන් රසායනාගාර බස් රථ 8ක්

    චීනයෙන් රසායනාගාර බස් රථ 8ක්

    රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හදුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් අද (26) චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබේ.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂැන්හොං මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ජංගම රසායනාගාර බස්රථ තොගය කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී අද නිල වශයෙන් භාර දෙනු ලැබීය.

    ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත් අංග සම්පූර්ණ මෙම ජංගම රසායනාගාර අනුරාධපුර, පොළොන්නරුව,වව්නියාව, අම්පාර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මාතලේ හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත ලබා දේ.

    මෙම ජංගම රථයන්හි පහසුකම් මෙරට මූලික රෝහලක ඇති රසායනාගාර පහසුකම් වලට සමාන වේ.

    එය විදුලි බලයෙන් ක්‍රියාත්මක කෙරේ. එහෙත් විදුලි බලය නොමැති අවස්ථාවක මෙන්ම විදුලි බලය නොමැති ප්‍රදේශයන්හි ද පරීක්ෂණ කළ හැකි අයුරින් විදුලි ජනන යන්ත්‍ර (Generator) පහසුකම් ඒ තුළ තිබේ.

    දෛනිකව 500 ක පමණ පිරිසකට මෙමගින් පරීක්ෂණ කළ හැකි අතර එමගින් දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීම කළ හැකිය.

    එමෙන්ම කොවිඩ් වැනි හදිසි ව්‍යසන තත්ත්වයන්හි රසායනාගාර කටයුතු සඳහාද මෙම ජංගම රසායනාගාර භාවිත කළ හැකි බව වකුගඩු රෝග නිවාරණ හා පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසංග වි.රණසිංහ මහතා පවසයි.

    මෙම ජංගම රසායනාගාර සඳහා පුහුණුව ලත් රියදුරෙකු සහ වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් දෙදෙනෙකු යෙදවිය හැක.

    මේ වන විට මෙරට හේතුව නොදත් වකුගඩු රෝගීන් 65,000 ක් පමණ පිරිසක් දිවයින පුරා දිස්ත්‍රික්ක 10කින් වාර්තා වී තිබේ.

    මේ අතර පසුගිය දා චීන රජය මඟින් මෙරටට එවනු ලැබූ රුපියල් මිලියන 650 ක ඖෂධ තොගය ද අද මෙරට චීන තානාපති කියු ෂැන්හොං මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබීය.

    එය රුපියල් බිලියන 5 ක් වූ චීන සහනාධාර වැඩසටහන් දෙවන අදියරේ 1 වන තොගය ලෙස මෙරටට ලැබිණි.

    ජලභීතිකා රෝගයෙන් වැළකීම සඳහා වන එන්නත් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 17 ක් මෙම පරිත්‍යාග තොගයට ඇතුළත් ය.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,
    සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා මෙවැනි ඉහළ කාලීන පරිත්‍යාගයන් කිරීම පිළිබඳ චීන රජයට හා එහි ජනතාවට ස්තූතිවන්ත විය.

    ඉතිහාසයේ පෙර නොවූ විරූ අති දුෂ්කර අවස්ථාවකට ශ්‍රී ලංකාව පැමිණ ඇති මොහොතේ එම පරිත්‍යාග අතිශය වැදගත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

    මෙවැනි අවස්ථාවකදී අවශ්‍යතාවයන් දැන කටයුතු කරන මිත්‍රශීලී රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග සිටින බවත් චීනය ඒ තුළ වඩාත් සමීප බවත් හෙතෙම කීය.

    මෙය අතිවිශාල පරිත්‍යාගයක් වුවද එහි මුදලට වඩා මිල කළ නොහැකි සේවාවන් රැසක් සපයන ඉහළ වටිනාකමක් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

    අර්බුදයකට මුහුණ දී සිටින අපට ලොව පුරා මිත්‍රශීලී රටවලින් ලැබෙන සහයෝගය වඩාත් වැදගත් මෙන්ම කාලෝචිත යැයි ද වසර 65කට 70 ට අධික ඉපැරණි මිත්‍රශීලීත්වයන් පවතින චීනය අඛණ්ඩව ශ්‍රී ලංකා සමඟ සිටි බවද අමාත්‍යවරයා කීය.

    මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති කියු ෂැන්හොං මහතා, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පසුගිය වසර කිහිපය තුළ ඉතා සතුටුදායී ලෙස දියුණු වී ඇති බවත් ගෝලීය වසංගත හා අනිකුත් අර්බුදකාරී තත්ත්වයන් තුළ වුවද අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සාර්ථකත්වයට පත් වී ඇති බවත් කීය.

    ශ්‍රී ලංකා පුරවැසියන්ගේ කැපවීම ,දරා ගැනීම හා උත්සාහය මේ සියලු අභියෝග ජය ගැනීමට ප්‍රමුඛ වන බවත් ආර්ථික අර්බුදය, ජීවන අරගලය තුල එම අභියෝගාත්මක කාල සීමාව තරණය කිරීමට හැකි වන බවත් හෙතෙම කීය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.