fbpx
තවත්
    මුල් පිටුවspecialබ්‍රිතාන්‍යයේ රැජිනගේ අභාවය හේතුවෙන් කොඩි අඩකුඹු කොට ශෝක දින ප්‍රකාශයට පත්කිරීම

    බ්‍රිතාන්‍යයේ රැජිනගේ අභාවය හේතුවෙන් කොඩි අඩකුඹු කොට ශෝක දින ප්‍රකාශයට පත්කිරීම

    බ්‍රිතාන්‍ය රැජිනගේ මලගෙය වෙනුවෙන් ජනාධිපතිවරයා ලන්ඩන් බලා ගොස් සිටී. මහන්සි වී රටක් මෙහෙයවන නායකයෙක් නම් අර්බුදකාරී අවස්ථාවකදී සුක්කානම අතැර ලන්ඩන් බලා යන්නේ නැති බව මාගේ සිතුවිල්ලයි.

    අතීතයේදී , එනම් 1796 දී ලන්දේසින් පරාජය කර මුහුදුබඩ පාලනය පවරාගත් ඉංග්‍රීසීන්, බටහිර ආක්‍රමණ හමුවේ ස්වාධීනව තිබූ, “කන්ද උඩරට සිංහලේ රාජධානිය” වාර ගණනාවකදී ආක්‍රමණය කළද ඒ සෑම අවස්ථාවකදීම ආක්‍රමණික හමුදා පරාජය කොට සමූලඝාතනය කිරීමට උඩරට අප වීරෝදාර මුතුන්මිත්තෝ සමත් වූහ.

    කියවන්න:

    එනමුත් උපායමාර්ගික සැලැසුම් සහ කුමන්ත්‍රණ හරහා උඩරට රාජධානියේ රාජ්‍ය බලය හෙබවූ රජු සහ අධිකාරම්වරු අතර භේද භින්නතා ඇති කොට, අවසානයේ ඇහැලේපොල මහාධිකාරම්තුමා වැනි ප්‍රභූන්ගේ උදව්වෙන් යුද්ධයකින් තොරව, ගිවිසුමකින් උඩරට පාලනය තමන් සන්තක කර ගැනීමට ඉංග්‍රීසීහු 1815 දී සමත් වූහ. මේ අනුව උඩරට ගිවිසුම හරහා බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමට සමස්ත ලංකාද්වීපයේම පාලන බලය හිමි විය.

    1818 දී ඒ කොම්පැනි පාලනයට එරෙහිව උඩරට මහා නිදහස් අරගලය දියත් වූ, කැප්පෙටිපොළ දිසාවේ ඊට නායකත්වය දීමට තීරණය කිරීමෙන් ඒ අරගලය සවිමත් විය. ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ අණින් බ්‍රිතාන්‍ය සිපයි හමුදා ඒ නිදහස් අරගලය මර්දනය කළේ, ගම්දනව් ගිනිලා වනසා, වයස 18ට වැඩි සියලු පිරිමින් මරා, කුලස්ත්‍රීන් දූෂණය කොට, ඉතාම කෲර ම්ලේච්ඡ ආකාරයෙනි. සශ්‍රීක වෙල්ලස්ස අමු සොහොනක් බවට පත්විය.මොල්ලිගොඩ නිළමේ, එක්නැලිගොඩ නිළමේ වැනි සිංහල ද්‍රෝහීහු මේ මර්දනය උදෙසා බ්‍රිතාන්‍යයන්ට උදව් උපකාර කළහ.

    මේ කෲරත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවේචන සිදු වූ අතර කොම්පැණි පාලනයෙන්, බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙත පාලන බලය පවරා ගැනුණි.
    1848 දී ඇඟ බදු, බලු බදු ආදී දරුණු බදු අය කිරීමට එරෙහිව මාතලේ මහජන නැඟිටීමක් ඇති වූ අතර, එය සන්නද්ධ අරගලයක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහය, බ්‍රිතාන්‍ය හමුදා වල මර්දනය ඉදිරියේ ලත් තැනම ලොප් විය.
    ඉන්දියාව දරුණු ලෙස සූරා කෑවද, බ්‍රිතාන්‍යයන් අතින් ඒ මට්ටමේ සූරාකෑමකට ලංකාව ලක් නොවීය. ලංකාව සුද්දන්ගේ නිවාඩු නිකේතනයක් වැනි තත්වයකින් පවත්වා ගැණුනි.

    1939 – 1945 දක්වා සිදු වූ දෙවන ලෝක සංග්‍රාමය හේතුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බංකොලොත් විය. යුද්ධය ජයගත් නමුදු එය pyrrhic victory එකක් විය. (Pyrrhic victory වනාහි ජයගත් මුත් හානිය හේතුවෙන් පරාජය වූවාක් වැනි සටනකි)
    ඒ වන විට බ්‍රිතාන්‍ය යටත් විජිත වල , විශේෂයෙන් ඉන්දියාවේ සෑහෙන්න බලවත් නිදහස් අරගල ද ජනිත වී තිබූ අතර, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයේ සදාචාර විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිදු විය.
    යුද්ධයෙන් පසු බලයට පැමිණි ක්ලේමන්ට් ඇට්ලී මහතාගේ අග්‍රාමාත්‍යත්වයෙන් යුතු ලේබර් පක්ෂයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව තමන්ගේ බොහෝ යටත් විජිත වලට නිදහස දීමට ඒ අනුව තීරණය කළේය. යුද සමයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් මහතා ඊට විරෝධය පල කළද එය සාර්ථක වූයේ නැත.

    ඒ අනුව ලංකාවට 1948 පෙබ 04 දා නිදහස ලැබුණ මුත්, රට වහ වහා දියුණුව කරා ගෙන යාමට සමත් ශක්තිමත් නායකත්වය රටට ලබාදීමට, මහජන ඡන්දයෙන් බලයට පැමිණි කිසිම ලංකා ආණ්ඩුවක් සමත් වූයේ නැත. 1948 වන විට දියුණුව අතින් ආසියාවේ ජපානයට පමණක් දෙවෙනි මට්ටමක ලංකාව තිබුණ මුත් ආසියාවේ අනිකුත් රටවල් කෙමෙන් ලංකාව පසු කරමින් පෙරට ගියහ.

    ලංකාවේ දකුණේ 1971 ජවිපෙ සන්නද්ධ අරගලයක් දියත් වූ අතර 1988-89 දී වඩාත් විනාශකාරී ජවිපෙ සන්නද්ධ අරගලයක් දියත් විය. 1983 ජූලි කෝලාහලය හේතුවෙන් උතුරේ දෙමළ විමුක්ති කොටි සංවිධානය ප්‍රමුඛ කල්ලි වල සන්නද්ධ අරගලයට මහජන සහාය හිමි විය.

    1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ධුරයට පත් වූ අතර ලංකාවේ 50 වෙනි නිදහස් සමරු උළෙලටද බ්‍රිතාන්‍ය මහ රැජිනට ආරාධනා කිරීමේ දීන ක්‍රියාව සිදු කළ අතර, දළදා මාළිගාව අභියස නිදහස් උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. ඒ උත්සාහය ව්‍යර්ථ වී ගියේ කොටි ත්‍රස්තවාදීන්, දළදා මාළිගාවට බෝම්බ ගසා ලෝකවාසී බෞද්ධයන් ගේ මුදුන්මල්කඩ වූ දළදා මාළිගාව සුනුවිසුණු කොට දැමූ බැවිනි.

    අදද කොටින්ට කඩේ යන ඇතැමුන්ට කොටින්ගේ ඒ අපරාධ මතක නැත.
    නිදහස් චතුරශ්‍රයේ පැවති 1998 නිදහස් උළෙලට රැජින නියෝජනය කරමින් චාල්ස් කුමරා සහභාගී වූයේය.

    වර්තමානයේ දී බ්‍රිතාන්‍යයේ රැජිනගේ අභාවය හේතුවෙන් කොඩි අඩකුඹු කොට ශෝක දින ප්‍රකාශයට පත්කිරීමෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටු ආණ්ඩුව ප්‍රකාශයට පත් කරන්නේ ලංකා ආණ්ඩුවේ ඇති ආත්මාභිමානයක් නොමැති දීනත්වය මිසෙක වෙන යමක් නොවේ. ඔවැනි දීන ක්‍රියා කළාය කියා ලංකාවට බටහිර සහයෝගයක් ලැබෙන්නේ නැත.

    කෙසේ වුවද මෙයද ප්‍රකාශ කළ යුතුය.

    ඉංග්‍රීසීන් ඉන්දියාව සහ ලංකාව සූරාකා තම අධිරාජ්‍යයය පෝෂණය කළ බව සත්‍යයකි.
    එනමුත් එංගලන්තය වනාහි ප්‍රජාතන්ත්‍රවාදයේ තිඹිරිගෙය බවත් අපි අමතක නොකළ යුතුය. පුරාතනයේ ග්‍රීසියේ සහ පුරාතන ඉන්දියාවේ තිබූ සමූහාණ්ඩුක්‍රම වල ලක්ෂණ, නූතන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා පරිනාමය වූයේ බ්‍රිතාන්‍යයේය. රජුගේ බලයට එරෙහිව ප්‍රභූන් සහ ප්‍රභූන්ගේ බලයට එරෙහිව ධනපතියන් සහ ධනපතියන්ගේ බලයට එරෙහිව පීඩිත මහජනතාව සිදුකළ අරගල රාශියක ප්‍රතිඵලය ප්‍රජාතන්ත්‍රවාදයයි.

    එය ඉබේ බිහි නොවීය.

    බ්‍රිතාන්‍යයේ තිබෙන්නේ බොහෝදුරට අලිඛිත ව්‍යවස්ථාවකි. බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබෙන්නේ එහි ඇති දේශපාලන සංස්කෘතියේ උත්තම ගුණාංග හේතුවෙන් මිසෙක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක විධිවිධාන හේතුවෙන් නොවේ.

    දෙවන ලෝක යුද්ධය හේතුවෙන් බ්‍රිතාන්‍යයන් ලංකාවට නිදහස ලබා දී පිටව ගියේද ඉතාම අඩු විධිවිධාන ඇති කෙටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබාදීය. ඒ වනවිට යම් මට්ටමකට පරිනාමය වී තිබූ ලංකාවේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතිය දිගටම පවතිනු ඇති බවට බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු විය.

    එනමුත් බ්‍රිතාන්‍යයන් නික්ම ගිය පසු ඒ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතිය ටිකින් ටික පිරිහීමට පත්විය. විශේෂයෙන් 1977 බලයට පැමිණි JR ජයවර්ධන ප්‍රමුඛ UNP ආණ්ඩුව ලංකාවේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතිය යකාට යැවීමට බොහෝදුරට දායක විය. රාජපක්ෂලා එය මාරයාගේ මුවවිටටම තල්ලුකර දැමූහ.
    ලංකාවේ අර්බුදයේ ප්‍රධාන හේතුව වර්තමානයේ පවතින ත්‍රාඩ පිළිකුල්සහගත දේශපාලන සංස්කෘතියයි.

     

    නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.