fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවට බෝට්ටුවෙන් පනින්න හැදූ 26ක් නාවික හමුදා දැලේ

    ඉන්දියාවට බෝට්ටුවෙන් පනින්න හැදූ 26ක් නාවික හමුදා දැලේ

    නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඩිංගි බෝට්ටුවක සහ බහුදින යාත්‍රාවක නැගී ඉන්දියාවට ඇතුළුවීමේ අපේක්ෂාවෙන් ගමන් කරමින් සිටි උතුරු නැගෙන හිර පළාත්වල වැසියන් 26 දෙනෙක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන මරදන්කේනි පොලීසියට භාරදී තිබේ.

    එසේ අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් 09 දෙනෙක් ද සිටින බව නාවික හමුදාව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ කළ මුර සංචාරයකදී හා සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස කොටුවී තිබේ.

    මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව මුර සංචාර වැඩිකරමින් නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන බව නාවික හමුදාව සඳහන් කරයි.

    ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත පී 166 වෙරළබඩ මුර යාත්‍රාව වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටියදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදැයිද නාවික හමුදාව සඳහන් කරයි.

    එහිදී, එම ඩිංගි යාත්‍රාව තුල සිටි යාත්‍රාවේ ක්‍රියාකරු ඇතුළුව වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දොළොස් දෙනෙකු, කාන්තාවන් හතර දෙනෙකු සහ වයස අවුරුදු 18 ට අඩු පස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකු එම ඩිංගි යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

    ඒ අතර උතුරු නාවික විධානයට අයත් පී 178 වෙරළ බඩ මුර යාත්‍රාව යොදවා එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමකදී ඩිංගි බෝට්ටුවේ රැදී සිටි පිරිස මෙම ගමන සඳහා අතර මගදී පැටවීමට සූදානම් කරගෙන තිබුණු බහුදින යාත්‍රාව 16 වෙනිදා එහි ක්‍රියාකරු ඇතුළු 05 දෙනෙක් සමඟ නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

    මෙලෙස නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් විසිහය දෙනා පුනරීන්, උඩුත්තුරෙයි, ඔට්ටමාවඩු සහ වාලච්චේන යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඩිංගි යාත්‍රාව සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මරදන්කේනි පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.