fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මට රටේ බහුතරයකගේ සහය තියෙනවා" - ජනපති

    “මට රටේ බහුතරයකගේ සහය තියෙනවා” – ජනපති

    රටේ බහුතරයකට අවශ්‍ය වී ඇත්තේ තමන් මෙරට අර්බුදය විසඳා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය හමුවේ පවසා තිබේ.

    ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලයේ ‘Foreign correspondent’ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා එහි නිවේදිකාව අසන පැනයන් කිහිපයක් වෙත මෙසේ පිළිතුරු දුනි.

    ප්‍රශ්නය – මෑතකාලීනව අරගලකරුවන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගනිමින් සිටිනවා. ඒකෙන් මේ අර්බුදය විස‍ඳනෙවා ද?

    ජනපති – “මම හිතන්නේ නෑ රාජ්‍ය දේපළ ගිනිතැබීමෙන් මේ අර්බුදය විසඳන්න පුළුවන් කියලා. අපි හැමෝම අන්න ඒක තේරුම් ගත යුතුයි. ඔබ හිතනවාද? එක්කෝ ජනාධිපති කාර්යාලය අල්ලගත්තා කියලා හෝ මගේ ගේ ගිනිතිබ්බා කියලා, අගමැති කාර්යාලය අල්ලාගත්තා කියලා හෝ පාර්ලිමේන්තුව අල්ලාගන්න ආවා කියලා හෝ, ඒ කාටවත් අපේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයි කියලා.”

    ප්‍රශ්නය – ඔබ හිතනවාද මිනිසුන් අත්අඩංගුවට ගත්තා කියලා හෝ බිඳවැට්ටුවා කියලා මේ අර්බුදය විසඳගන්න පුළුවන් වේවි කියලා?

    ජනපති – “අපි අත්අඩංගුවට ගන්නේ නීතිය උල්ලංගනය කළ අයයි. එය කරන්නේ මම නෙවෙයි. ඔ‍බේ රටේ වගේම තමයි මෙහෙත් ඒක කරන්නේ පොලීසිය. ඒ වගේම පොලීසිය තමයි තීරණය කරන්නේ ඔවුන් නීතිය හමුවට පමුණුවන එක ගැනත්. සියල්ල සිදුකර ඇත්තේ නීත්‍යනුකූලවයි.”

    ප්‍රශ්නය – ජීවන්ත පියතුමා, වෘත්තිය සමිති නායක වසන්ත වගේ ගොඩක් අයව…

    ජනපති – “මම දන්නවා ඔබ කතා කළ අය කවුද? කණ්ඩායම් කවුද? කියන එක. ඔබ හදන්නේ මේ සුළුතරය ගැන සිද්ධි මගෙන් අහන්න. හැබැයි මම උත්තර දෙන්නේ බහුතරය වෙනුවෙන්.

    ප්‍රශ්නය – ඔබට අවබෝධ කරගන්න පුළුවන් ද මේ වෙලාවේ රටේ බහුතරය දුක්විඳිනවා වගේම මේ තතත්වය හමුවේ කුපිත වී ඉන්නවා කියන එක?

    ජනපති – “මට තේරුම් ගන්න පුළුවන් මේ රටේ බහුතරය දුක්විඳිනවා වගේම ඔවුන්ට විසඳුමක් අවශ්‍ය බව. හැබැයි අතන හිටියේ ඔවුන් නෙවෙයි.”

    ප්‍රශ්නය – ඔබේ රටේ බහුතර සහාය ඔබට තිබේද?

    ජනපති – “රට තුල. ඔව්. මම තමයි හරි දේ කිව්ව එකම කෙනා, IMF එකට යන්න කියලා. අන්න ඒ නිසයි මට සහයෝගය දෙන්න විශ්වාසයක් තියෙන්නේ. ඒකයි මම ගැන විශ්වාසයක් තියෙන්නේ, මට එය කළ හැකියි කියා.”

    මීට අදාළ සම්පූර්ණ වීඩියෝව මෙතනින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.