fbpx
තවත්
    මුල් පිටුවspecialකතා තුළ කතා මවන 'ඝර්ම'

    කතා තුළ කතා මවන ‘ඝර්ම’

    ✒️ සටහන – ආචාර්ය ලසන්ත ආරියරත්න

    සීයා සොයා අතීතයට යාම නොහොත් “grandfather’s paradox” නම් භෞතික විද්‍යාත්මක සංකල්පය මත පදනම්ව කෙරුණු විවිධ කලා නිර්මාණ අතීතයේ සිට අප අත්විඳ තිබෙන්නේය. මෙහි විශේෂත්වය වන්නේ එවන් නිර්මාණ කිරීමේ විෂයෙහිලා ඒ, ඒ කාලයන්හි සැරි සැරීම පදනම් කොට කරනා ලද නිර්මාණයන් වීමය. එක් අතකින් එය අසීරු කාර්යයකි. විශේෂයෙන්ම සිනමා පටයක් නම්, අතීතයේ ගම හෝ නගරය එකී කාල රාමුවට ගැළපෙන සේ කෘත්‍රිමව නිර්මාණය කොට ඒය නිෂ්පාදනය කළ යුතුය. සීයා සොයා කාලතරණය වූ කලී ස්ව පැවැත්ම ඇති වීමට පෙර, එහි නිර්මාපකයා සොයා ගොස් විනාශ කිරීම පදනම් වූවකි. 1985 වසරේ දී නිෂ්පාදනය වූ “Back to the future” නම් සිනමා පටයේ සිදු වන්නේ 1955 වර්ෂයට එහි කතා නායකයා වූ “Marty” (Michael Fox) ගමන් කරවා මාර්ටිගේ දෙමාපියන්ගේ සම්බන්ධතාවය අභියෝගයට ලක් කිරීමයි. සීයා මැරීම තුල සිය පැවැත්ම විනාශ කිරීම යන්න වෙනස කරමින් චිත්‍රපටය අවසන් වන්නේ තම දෙමාපියන්ගේ එක්වීම අනුමත් කළ පැවැත්ම ස්ථාපිත කිරීම සමගිනි. නමුත් එවන් සංසිද්ධියක් නවකතාවකට නැගීමේදී ඉහත කී අභියෝගය තවත් තීව්‍ර වන්නේ නවකතාව තුලින් ගෙන එන්නාවූ සිද්ධි වඩාත් නිර්මාණාත්මකව වචන හරඹයන් තුළින්ම පමණක් පාඨකයාගේ සිත තුළ චිත්ත රූප මැවීමට කතුවරයා හට සිදුවන නිසාවෙනි.

    ආචාර්ය ලසන්ත ආරියරත්න මහතා

    එවන් මගක් ගත් නවකතාවක් මා සන්මිත්‍ර තිලංග ෆොන්සේකා අකුරු කොට ඇත. පෙර කල සංගීතය ජීවිතය කොට ගත් තරුණයකු වූ හෙතෙම පසු කලෙක නවකතා කරුවකු වීමේ ගමන් මග හරි හැටි වටහා ගැනීමට නම් ඔහුගේ අතීතය වෙත ගමන් කොට සොයා බැලිය යුත්තක් වුවත් සැබෑ ජීවිත කතාව නවකතාවෙන් පරිබාහිර නිසාවෙන් නන්නාදුනන කතුවරයකු දෙස බලමින් මේ නව කතාව දෙසට හැරෙමු.

    නවකතාවේ ප්‍රධාන චරිතය වන තීර්ථ හට මුත්තා පළමුවරට සම්මුඛ වන්නේ ඔහුගේ පියා, ඥානසිරි අධික මිලක් ගෙවා ඔහු වෙත ගෙන දෙන්නාවූ ක්වන්ටම් භෞතිකය සම්බන්ධයෙන් ලියැවුනු පොත කියැවීම ඇරඹීමත් සමගිනි.

    එතැන් සිට ඇරඹෙන්නේ නවකතාව තුල කාලතරණයේ විවිද ඉම් පෙදෙස් ස්පර්ෂ කිරීම්ය. ස්වර්ණා හා ඥානසිරිගේ සබදතාව නිරූපණය වන අතීතය නවකතාකරු වරින් වර ගෙන එන්නේ දරුවන්ගේ පියාගේ අහිමිවීම හා සබැදි සිද්ධීන් මුසු කොට ගනිමිනි. නවකතාවේ ප්‍රථම බාගය තුළද ඒ ඒ අවදීන්හි සමාජ තත්වයන් ඇසුරෙන් නිරූපණය කිරීමට රචකයා සමත් වීම ප්‍රශංසනාත්මකය. එහෙත් ඇතැම් අවස්ථාවන්හිදී පර්ඡේදයන්හි කෙටි බව ඇතැම් සිදුවීම් නිරූපණය කිරීම් සීමා වී ඇත් දැයි සිතා බැලිය යුත්තකි. නිදසුනක් ලෙස “පරිඡේදයක නිමාවේ ඇරඹුම” කොටසේ සම සමාජපක්ෂයේ බිහිවීම හා ලාංකීය වාමාංෂික ව්‍යාපාරය සම්බන්ධයෙන් තවත් ගැඹුරින් විශ්ලේෂණය කිරීමට තිබුණේ දැයි සිතේ.

    කෙසේ වෙතත් නවකතාවේ මධ්‍ය කොටසින් “පැෂන් ඇන්ඩ් කොම්පැෂන්” පර්ච්ඡේදයේ සිට කතුවරයා සිය ලේඛනයේ ඇති බුහුටි බව මැනැවින් කියා පායි.

    129 පිටුව “භාරතී අයියා… ස්ටීවන් හෝකින් ගැන ඉන්ටරස්ට්ද?” තීර්ථ ඇසීය.
    “ඔවු මල්ලි මම කැමතිම ෆිගර් එකක්.. තාගෝර්ට පස්සෙ මම කියවන්න කැමතිම චරිතයක් තමයි හෝකින්. එයා අමෙරිකාවෙඩ් පදිංචි වුනාට පස්සෙ තමයි ස්ටෙෆන් හෝකින් කියල ප්‍රසිද්ධ වුනේ.. ඒ වුනාට මම කැමති එංගලන්තෙ හිටපු ස්ටීවන් හෝකින්ට”.

    කාලාවකාශ තරණය තුළදී නූතන සංසිද්ධීන් කතුවරයාගේ පෑන තුළින් ගළා ඇති ආකාරයෙන් හැගී යන්නේ ඇතැම් අතීතයන් හා සසදනව් විට නූතනත්වය වෙත හෙළනා ඇස වඩාත් තියුණු බවය. මෙය වඩාත් විශද වන්නේ සමලිංගිකත්වය කෙරෙහි තීර්ථගේ ඇති නැඹුරුව මෙන්ම ඔහු හා ඇන්ජලෝගේ සම්බන්ධතාව නිරූපණය කිරීමේදීය.

    එසේම කාලාවකාශ තරණය පිළිබදව කිවවන්නා හට චිත්ත රූප මැවීමේදී රචකයා දක්වන සමත්කම පිළිබදව ද අවධානය යොමු කළ යුතුය.
    201 පිටුව “මෙතැනින් එහාට ඔය දරුවා දෑස පියාගෙන අරමුණු කරන ඕනෑම කාල තලයකට ගැටලුවකින් තොරව ගමන් කිරීමට හැකියාවක් ලැබෙනවා.. ඒ නිසා තවත් කාලය මිඩංගු නොකර අර පෙනෙන ගල්තලාව මත හිදගෙන ඔබගේ ගමන යන්න.” යැයි පවසා සන්නාසියා සිය දෙනෙත් පියාගෙන තීර්ථට සමු දුන්නේය.

    තීර්ථ සමග අනාගත කවුළුවෙන් ඇතුළුවන කියවන්නා අමෙරිකාවේ අත්දැකීම් ලබා ඉක්බිති නතර වන්නේ පිටකොටුවෙනි. එම කාල පරාසය තුළ කාලය ගත කරන පාඨකයාගේ සිතේ නොනිමි කුතුහලය උපදවන ලෙස සිය ලේඛන ඇස යොමු කොර තිබෙන ආකාරයද ලේඛකයා සම්බන්ධයෙන් ප්‍රශංසනාත්මකව බැලිය යුතු තවත් පැතිකඩකි.

    නවකතාව අගබාගයේ තීර්ඨ මුත්තා සොයා යෑමේදී හමුවන අතීත කන්ද උඩරට චාරිකාව කතුවරයා ගොඩනංවන ආකාරය විස්මය දනවන සුළුය. විශේෂයෙන්ම එහි කතුවරයා විසින් යොදාගෙන තිබෙන ග්‍රාම්‍ය භාෂා රටාව දෙස බලන කල, හෙතෙම ප්‍රාදේශීය භාෂා හා ව්‍යවහාර පිළිබදව කතුවරයා යම් ශාස්ත්‍රීය ගවේෂණයක් කර ඇත්තා සේය.

    පිටුව 254 “හප්පොච්චියේ.. බොහෝම දුර නොවැ මලයා..අපේ ගැල් කරත්ත පහත රට ගොහිං ආපහු එන්නම දින ගණනාවක් යනවනෙ”

    පිටුව 255 “තේ වත්තේ සුද්දගෙ ඔළුගෙඩිය මැද්දට පත බෑව කිතුල් පොල්ලෙං, ඒ වලත්තුව මැරුණද දන්නේ නැහැ” තරුණයා නැවතත් කෙදිරීය.

    පැරඩොක්සිමය විසදුම නවකතාවේ අගදී අප කියවන්නේ මෙලෙසිනි.

    පිටුව 303 ” ඒත් මුත්තගෙ වරද පස්සෙම පන්න පන්නා ඉදලා ඒකගෙ බොටුව මිරිකලා මේ වෙලාවෙ මැරුවොත් මම, අම්මා, අවන්ති අක්කා, හරිනි, ඒ ඔක්කොමල්ලාටම පැවැත්මක් නැතුව මේ පෘථිවියෙන් අතුරුදන් වෙලා යයි”

    එසේ අවසාන වීමට පෙර තීර්ථ හා මුත්තාගේ (හේතු ) සටන් ජවනිකාව ඉතා තීව්‍ර වන අයුරින් නිරූපණය කිරීමට කතුවරයා සමත්ව තිබීම විශිෂ්ටය. එම සටන් ජවනිකාව කතුවරයා විසින් චිත්ත රූප මවන්නේ පාඨකයා එය කියවන මොහොතේම තමන්ද ද කාල තරණය කරමින් එම සටන් ජවනිකාව සජීවීව නරඹන්නකු බවට පත් කරමිනි.

    මෙම නවකතාව සුවිශේෂී වන්නේ ඒ ඒ කාලෝනුචිත පරිදි බස හසුරුවමින් හා අවස්ථා නිරූපණය කිරීමට කතුවරයා ගන්නා විශිෂ්ට උත්සහය නිසාය. පැරඩොක්සීමය විසදුම මුත්තා විනාශ කිරීමෙන් අවසාන් නොවුවද එය ලාංකීය නවකතා කලාවට ගෙන ඒම තුළින්ම කතුවරයා සතු නව මානයන් තුළ නවකතා කලාව හැසිරවීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.