තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන පරීක්ෂණ නැව එන්න කලින් ඉන්දියාවෙන් ඔත්තු බලන ගුවන් යානයක්

    චීන පරීක්ෂණ නැව එන්න කලින් ඉන්දියාවෙන් ඔත්තු බලන ගුවන් යානයක්

    රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අවධානයට තුඩුදී ඇති චීනයට අයත් චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ලුහුබැඳීමට සහාය වන පරීක්ෂණ නෞකාවක් වන යුවාන් වැන්ග්-5 නැව හම්බන්තොට වරායට ඇතුළු වීමට මෙරට රජයෙන් අවසර ලබා දී ඇත.

    විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ අගෝස්තු 16 සිට 22 දක්වා හම්බන්තොට වරායට ඉන්ධන නැවත පිරවීම වෙනුවෙන් ඇතුළු වීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි.

    කෙසේවෙතත් නෞකාව මෙරට වරායේ නැංගුරම්ලා තිබෙන කාලය අතරතුර ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි කොන්දේසි කිහිපයක් ද මෙරට රජයෙන් නිකුත් කර තිබේ.

    මෙරට මුහුදේ කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයක් නොකළ යුතු බවට එමගින් අවධාරණය කර ඇත.

    එමෙන්ම සියලුම රටවල් සමඟ සහයෝගීතාවය සහ මිත්‍රත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය අමාත්‍යාංශය නැවත අවධාරණය කර තිබේ.

    එහිදී අසල්වැසි ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය අතිශයින්ම ප්‍රමුඛ වන බවත් සිය ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සියලු රටවල නීත්‍යානුකූල අවශ්‍යතා ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ අභිප්‍රාය බවත් රජය චීන නෞකාවට අවධාරණය කර ඇත.

    විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබසාධනය සහතික කිරීම සඳහා රට දැඩි ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් දේශීය ක්‍රියාවලීන් කිහිපයක නිරත වෙමින් සිටින මේ මොහොතේ, සියලු රටවල සහයෝගය, සහයෝගීතාව සහ අවබෝධයෙන් කටයුතු කිරීම පිළිබඳ අමාත්‍යාංශය මෙහිදී සිහිපත් කර ඇත.

    මෙම නෞකාව මෙරටට පැමිණ සිටින කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇති පරීක්ෂණ සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ලකින් සිටින බවට එරට මාධ්‍ය වාර්තා පවසයි.

    යුවාන් වැන්ග්-5 නැවට ලබන 16 වන දින හම්බන්තොට වරායට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව අද අවශ්‍ය නිෂ්කාශනය ලබාදෙන ලද්දේ, ඉන්දියාව විසින් පසුගිය 11 වන දිනට නියමිතව තිබූ යාත්‍රාවේ පැමිණීම පිළිබඳව සිය ආරක්ෂක ගැටළු නැවත අවධාරණය කිරීමෙන් දිනකට පසුව බව එම වාර්තා සඳහන් කරයි.

    මේ අතර ඉන්දීය ගුවන් හමුදාව විසින් අයත් ඩෝනියර් 228 වර්ගයේ සමුද්‍ර මුර සංචාර ගුවන් යානයක් ලබන 15 වැනිදා සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට නියමිතය.

    තවත් ගුවන් යානයක් වසර දෙකක් ඇතුළත පරිත්‍යාග කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    අගෝස්තු 15 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ උත්සවාකාරයෙන් මෙම ගුවන් යානය භාරදීමට බලාපොරොත්තු වන බව ද ඉන්දීය වාර්තා සඳහන් කළේය.

    මෙය, මෙරට සමුද්‍රීය නිරීක්ෂණ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා ඩෝනියර් ඔත්තු බැලීමේ ගුවන් යානා දෙකක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2018 දී ඉන්දියාවට කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් බව ද සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img