fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති දියණියගේ ලක්ෂ 25ක දියමන්ති මුද්ද යාල කැලේදී හොරකම් කරලා

    ඇමති දියණියගේ ලක්ෂ 25ක දියමන්ති මුද්ද යාල කැලේදී හොරකම් කරලා

    ප්‍රබල අමාත්‍යවරයෙකුගේ දියණියකගේ රුපියල් ලක්ෂ 25ක් වටිනා දියමන්ති මුද්දක් යාල කැලෑවේ පිහිටි හෝටලයකදී සොරාගැනීමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    එම සොරකමට සැකපිට හෝටලයේ කළමනාකරු සහ කාමර සේවකයෙක් කිරිද්ද පොලීසිය සිය භාරයට ගෙන මේ වන විට ඔවුන්ගෙන් මෙම දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

    මෙම සොරකම සිදුව ඇත්තේ අද දහවල් කාලයේදීය. ඇමති දියණිය ඇගේ සැමියා ඇතුළු සමීපතයින් පිරිසක් සමඟ යාලේ සංචාරකට පැමිණ ඇත්තේ ඊයේ දිනයේදීය. එම හෝටලයට අයත් කඳවුරු ප්‍රදේශයේ සිට ඇත්තේ එම කණ්ඩායම පමණි.

    අද දහවල් කාලයේදී ඔවුන් හෝටලයේ විවෘත ප්‍රදේශයේ පිහිටි නානා කාමරවල දිය නාමින් සිටි බව කියයි. එම නානකාමර පිහිටා ඇත්තේ පේලියට බවත් නාන කාමරයෙන් නාන කාමරයට වෙන් වී ඇත්තේ කෙටි බිත්තිවලිනි.

    ඇමති දියණිය එක් නාන කාමරයකත් ඊට යාබද නාන කාමරයේ ඔවුන් සමඟ පැමිණි පුද්ගලයෙකුත් රැදී සිට ඇත. දිය නාන අවස්ථාවේදී එම නාන කාමර දෙක වෙන්වන කෙටි බිත්තිය මත ඇමති දියණිය ඇගේ මුද්ද ගලවා තබා තිබී ඇති බව කියයි.

    එක වරම යාබද නානකාමරයේ සිටි පුද්ගලයා සර්පයෙක් යැයි කෑ ගසමින් ඇමති දියණිය සිටි නාන කාමරයට කෙටි බිත්තියෙන් පැන ඇති බවත් එහිදී මුද්ද බිම වැටී ඇති බවත් කියැවේ. ඒ අවස්ථාවේදී එම මුද්ද නැවත එම ස්ථානයේ තබා ඔවුන් සර්පයා ගැන හෝටලයේ කළමනාකර දැනුවත් කර තිබේ. ඒ අනුව හෝටල් කළමනාකරු කාමර සේවකයෙක් සමඟ පැමිණ ඇමති දියණිය රැදී සිටි නාන කාමරයට ගොස් පුටුවක් තබා ඇතුලතින් දොරගුළුලා තිබුණු යාබද නානකාමරයට පැන පරීක්ෂා කර තිබේ.

    එහිදී පෙනී ගොස් ඇත්තේ එම නාන කාමරයට රිංගා ඇත්තේ තලගොයි පැටියෙක් බවය. පසුව ඔවුන් හෝටලයට ගොස් ඒ ගැන කථාබස් කරමින් විනෝදයෙන් සිට ඇති බවත් මුද්ද මතක් වී ඇත්තේ එහිදී බවත් කියති. එහිදී ඔවුන් නානකාමරයට ගොස් මුද්ද සොයා ඇතත් එය අතුරුදන් වී තිබී ඇත.

    ඒ ගැන කළමානාරකරුගෙන් විමසා ඇති අතර ඔහු කිසිවක් නොදන්නා බව කීම හේතුවෙන් ඒ බව කිරින්ද පොලීසියට දැනුම් දී ඇති බවත් පොලීසිය වහාම එහි පැමිණ හෝටලයේදී ඇමති දියණියගේ පැමිණිල්ල සටහන්කර ගෙන ප්‍රශ්න කිරීම සඳහා කළමනාකරුත් කාමර සේවකයාත් පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    Photo – File Photo

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.