fbpx
තවත්
    මුල් පිටුවspecialජාතිය ඇමතීම

    ජාතිය ඇමතීම

    “මේ විදිහට ඔබව අමතා කතා කොරන්නට මං හිතාන හිටියේ නැහැ. මේ කතාව කරන්න හිටපු අපේ හිටපු පන්ති නායිකාව නන්දාවතී පැදුරටත් නොකියා ගමෙන් ඊයෙ එහා ගමේ කොල්ලෙක් එක්ක පැනල ගියෑයිං ඒකිට කරන්න තිබ්බ මේ කතාව මට කොරන්නට පැවරුනා. මම මේ මොහොතේ ඔබට කියන්ට ඕනෙ නනදාවතීට ගෙදරිං පැනල යන තැනට වැඩ සිද්ධ කළේ උන්ගෙම මහ එවුං කියාලා. නන්දාවතී කොල්ලෙක් එක්ක යාළු උනහම ඕකට ඔයිතරං පාරට බැහැගෙන උද්ඝෝෂණ කළේ ඒකිගෙ ගෙදරම උන්නු මහ එවුං කියල මේ මොහොතේ මම කියන්ට කැමතියි. තවත් අවුරුදු දෙකාමාරක් ගෙදර ඉන්න දුන්න නං නන්දාවතී විභාගෙත් ලියලා පෝරුවටත් නැගල කසාදෙ කරගෙනම හනි මූං එක යන්න තිබ්බ” එක්වරම ගෙතුලින් ආ හඩින් අමරබන්දු ගැස්සී ගියේය. ඒ හඩ කාගේවත් නොව ඔහුගේ බාල කෙල්ලගේ හඩ බැව් හෙතෙම එක්වරම හදුනා ගත්තේය.

    “මේකිට මේ මොන යකෙක් වැහිලද” කළින් ඔහුට ශ්‍රවනය වූ ඇගේ බාල කෙල්ලගේ හඩින් පිට වූ වචන එකිනෙක ගළපමින්ම ඔහු තමන්ටම කියාගත්තේ විශ්මයෙනි. ඇය නොනවත්වා කතාව පවත්වයි, හුස්ම නොගෙනම කතාව කරයි. මොහොතින් මොහොත උස් පහත් වන ඇගේ හඩ පාසල් සිසුවියකට වඩා දේශපාලනඥයෙකුගේ වාගේය. එහෙත් ඇගේ බස වෙනදා මෙන් නොව මහ අමුතුය.

    “මං මේ අවස්ථාවේදී කියන්ට ඕනෙ.. ඉදිරි සති දෙක ඔබට අපහසු කාලයක්. මොකද කියනවා නං දැං අපිට පංති නායිකාවක් නැහැ, උගන්නන්න හිටපු ටීචරුයි විදුහල්පතිතුමයි මාරුවක් හදං ගියා, ඒ අය ගියේ කොහාට ද කියන්න මම දන්නේ නැහැ. ඉතිං මටත් යන්න හිතුනා ඒත් මම මේ පංතියේ ඉදිරි අනාගතය ගැන හිතලා ඉන්න හිතුවා. වීදුරු පාලමක් උඩ යකඩ උල් සපත්තු දාගෙන මහා හෙලෙන් වැටෙන්නෙ නැතුව මේ ඔබ තමුන්නන්සේලා එකෙක් නෑර එගොඩහට වඩාගෙන යන එක මට තිබෙන අභියෝගයයි.ඒ නිසා අපිට මේ පංතියේ ඉදිරිය වෙනුවෙං ගොඩාක් දේවල් කරන්න තියෙනවා. අපේ පංතිය වැස්සට තෙමෙනවා, සෙල්ලං කරන්න පිට්ටනියක් නැහැ, පාඩම් කරන්න පොත් නැහැ, ලියන්ට පැන්සල් නැහැ, කන්න කෑම නැහැ, බොන්න වතුර නැහැ, පැට්‍රල් නැහැ, ගෑස් නැහැ, අපේ ඉස්කෝලෙට බිග් මැච් එකක් නැහැ. බලන්ට අපේ වටේ ගංවල තියෙන ඉස්කෝල උන්ට කන්න නැතත් හැම අවුරුද්දකම කිරිකැට් බිග් මැච් එකක් පවත්වනවා. ඒ නිසා අපේ ඉස්කෝලෙටත් බිග් මැච් එකක් පවත්තන්න අපි කටයුතු කරන්ට වුවමනායි. මට අනිත් ගං වලත් එක්ක තියෙන සම්බන්ධතා එක්ක මට මේ ඉස්කෝලෙට ක්‍රිකට් බිග් මැච් එකක් පවත්තන්න කටයුතු කරන එක සුළු කටයුත්තක් කියා මා මේ මොහොතේ කියන්ට කැමතියි. කිරිකැට් ගහන්න පිට්ටනියක් නැතත්, බැට් පිත්තක් වත් නැතත් ඉදිරි කාලය තුල ඔබ තමුන්නාන්සේලාට කිරිකැට් බිග් මැච් එකක් පවත්වනවා කියන දේ මම පොරොන්දු වෙන්න කැමතියි.”

    ” මේකි මේ මොනවද දොඩන්නේ” මෙතුවක් අගක් මුලක් නොමැති ඇගේ කතාවට සවන්දීගෙන හුන් අමරබන්දු එළිපත්තේ සිට ගෙතුලට ගෑටුවේ ඒ හතර බීරි කතාවේ මුල මැද ගලපගන්නට සිතාය.

    “මොන හරුපයක්ද බං මේ කියවන්නේ” යැයි අසමින් අමරබන්දු ගෙතුලට රිංගා ගන්නා මොහොතේ ඔහුගේ බාල කෙල්ල සිටියේ කෑම මේසයේ වූ පුටුවක් හරි හරියට කොනද කෙළින් කොට වාඩි වී හාෆ් ෂීට් කොලයක ලියා ගත් දිහා බලාගෙන කියවමින්ය. වරින් වර ඕ කොලය දෙසත් ඇගේ ඉදිර්ය දෙසත් බලයි.

    “මොනවද බං මේ කියවන්නේ” අමරබන්දු ඇගේ කතාව මැදට පනිමින් බාධා කළේ කළින්දා අරගල කරුවන් ජාතික රූපවාහිනියට පැන්නාට වඩා කලබලයකිනි. ඔහුගේ කලබලයෙන් මදකට කතාව නැවතූ ඇය අමරබන්දුට කතා කළේ ආරූඪ කොට ගත් ඝර්වයකිනි.

    “මම මේ අපේ පංතිය අමතන්න පුරුදු වෙනවා” ඇය හැකි තරම් ගැඹුරු හඩින් කීවාය.

    “මොකක්..” අමරබන්දුහට සිනහ පහළ විය.

    “ඔව්” මම තමයි දැන් ඉස්කෝලෙටම ඉන්න ලොක්කා. ඇය දිවට නොදැනී කීවාය.
    “ඒ කොහොමද?” පොඩි එකී පැවසූ දෙයින් අමරබන්දු තරමක් තැති ගත්තේය.

    “ඒක වෙන්නෙ මෙහෙමනේ.. අපේ පන්ති නායිකාව ගමෙං පැනල ගියා, පන්තියෙ ටීචරුයි විදුහල්පතියිත් ඉස්කෝලෙ දාල වෙන ඉස්කෝලෙකට ගියා. එතකොට ඉස්කෝලෙ ලොක්කා පන්තියෙ උප නායකයා වෙච්චි මංනෙ” ඇය තවමත් පවසන්නේ ආරූඪ කොටගත් ගර්වයකිනි.

    “ඒ ඔක්කොම හරියි කියමුකො. තොපේ ඉස්කෝලෙටම තියෙන්නෙ එක පන්තියයි, ඉන්න උන් ටිකටත් මන්ද පෝෂණේ එහෙව් එකේ අහවල් උලවුවකටද උඹ අර කිරිකැට් බිග් මැච් එකක් පවත්තන්න ළමයින්ට පොරොන්දු වෙන්නේ” අමරබන්දු ඇසුවේ අමනාපයෙනි.

    “ඇයි තාත්තෙ, දැක්කෙ නැද්ද අර අලුතින් පත්වෙච්චි ජනාධිපතිතුමා කියන්නෙත් ඔය විදිහටමනේ. ඉතිං මං ඒ මහත්තය ඊයෙ ජාතිය අමතල කරපු කතාව යූ ටියුබ් එකෙන් බලාගෙන පුරුදු වුනා.. ඇයි අවුල්ද?” ඇය එවර පැවසුවේ අමරබන්දුහට පිළිතුරු දීමට නොහැකි ප්‍රශ්නයකි.

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    තිලංග ෆොන්සේකා
    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    ඔබේ අදහස් දක්වන්න.