fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් ලීටරේ රු. 250ට දෙන හැටි - කුලියට ගත් බෙන්ස් කාර් ගැන...

    තෙල් ලීටරේ රු. 250ට දෙන හැටි – කුලියට ගත් බෙන්ස් කාර් ගැන කෝප් කමිටුවේදී එළියට

    පෙට්‍රල් සහ ඩීසල් ආසන්න වශයෙන් රුපියල් 250 ක මිලකට අළෙවි කළ හැකි බවට කීවේ පෞද්ගලික ප්‍රකාශයක් ලෙස යැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති කෝප් කමිටුවේදී පවසා තිබේ.

    දත්ත පරිශීලනය කිරීමේදී මේ බව තමාට පෙනීගියේ යැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2018,2019 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

    මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් රත්නායක මහතා සඳහන් කළේ ඛනිජ තෙල් මිලදී ගැනීමේදී ඒවා ආනයනය කරන මිල ගණන් සහ රජය අයකරන බදු මුදල් පිළිබඳ සංඛ්‍යා ලේඛන නිවැරදිව පරීක්ෂා කිරීමේදී මේ බව හෙළි වන බවයි. ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් දැන් ලබාදෙන මිලට වඩා රුපියල් 200 ක් අඩුවෙන් මෙරට තුළ අළෙවි කළ හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය. මේ අනුව ආසන්න වශයෙන් රුපියල් 250 ක් වැනි මිලකට පෙට්‍රල් සහ ඩීසල් මෙරට තුළ අලෙවි කළ හැකි බව සඳහන් කළ ඒ මහතා පසුගිය ජූලි 1 වැනිදා ගෙන්වන ලද ඩීසල් එක් ලීටරයක් සඳහා රුපියල් 280 ක බදු මුදලක් රජය අය කොටගෙන ඇති බව ද පැවසීය.

    මෙය තමන්ගේ පෞද්ගලික ප්‍රකාශයක් බවත්, දත්ත පරිශීලනය කිරීමෙන් පසුව එම ප්‍රකාශය සිදු කරන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. මේ අනුව මේ පිළිබඳ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ දැනුවත් බව පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරුන් විමසූ අතර ඒ පිළිබඳව මෙම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලය දැනුවත් නැති බව අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ. එසේම මේ පිළිබඳව මුදල් අමාත්‍යංශය විධිමත්ව දැනුවත් කිරීමක් සිදු කොට නැති බව ද මෙහිදී සඳහන් විය.

    මෙහිදී මෙම කොමිෂන් සභාවේ සභාපතිධූරයට පත් වීම සඳහා තමන්ට පවතින සුදුසුකම් පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරුන් රත්නායක මහතාගෙන් විමසන ලදී. ඒ අනුව තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලන විශේෂ උපාධිය සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇති බව හෙතෙම පෙන්වා දුනනේය. තවද හාවඩ් විශ්ව විද්‍යාලයේ ද අධ්‍යාපනය ලබාගෙන ඇති බව ඒ මහතා පැවසීය. එසේම තමන්ගේ දේශපාලන සුදුසුකම් ලෙස 2005 වසරේ සිට රජයන් ගොඩනැගීම සඳහා රාජපක්ෂවරුන්ට විශාල ලෙස සහයෝගය ලබා දී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

    මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ තෙල් මිල සම්බන්ධයෙන් මෙම සභාපතිවරයා සිදු කරන ප්‍රකාශය වඩාත් බරපතල බවත් මේ පිළිබඳ රටේම අවධානය යොමු වන බවත්ය. එබැවින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙන්වා ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.

    එසේම ශ්‍රී ලංකාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2021 දෙසැම්බර් 07 දින සිට වර්ෂයක කාලයක් සඳහා කිසිඳු ගිවිසුමකට ඇතුළත් වීමකින් තොරව 2005 වර්ෂයේ නිෂ්පාදිත බෙන්ස් වර්ගයේ රථයක් General Business (Private) Ltd නම් ආයතනයකින් ඉන්ධන හෝ රියැදුරු නොමැතිව මාසික කුලී පදනම මත ලබා ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මෙම රථය සඳහා වාර්ෂික කුලිය රුපියල් 4,500,000 වූ අතර 2022 මැයි 31 දිනට ඉන් රුපියල් 2,187,500 ක් අදාළ ආයතනයට ගෙවා තිබුණි. නමුත් මෙම වාහනය ලබාගැනීම පිළිබඳ ලිපිගොනු විගණනයට ඉදිරිපත් නොවී තිබීම, වසර 15ක් පැරණි වාහනයක් ලබාගැනීමට නිර්දේශ ලබාදී තිබීම, එසේම මෙම වාහනය ලබාගැනීම සඳහා ලංසු කැඳවීමේ අක්‍රමිකතා, මෙම වාහනය වෙනුවෙන් කුලී මුදල් ගෙවීමේදී විනිවිද භාවය පිළිබඳ ගැටලු පැවතීම යන කරුණු පිළිබඳ මෙහිදී කෝප් කමිටුව ප්‍රශ්න කළේය. විශේෂයෙන්ම මෙම ආයතනය සඳහා මුදල් ලබාදීමට අනුමතිය සහතික කරමින් අත්සන් තැබූ නිලධාරියාටද වගකීම් සහගතව කටයුතු කරන ලෙස කෝප් කමිටුව විසින් උපදෙස් ලබාදෙන ලදි.

    මේ අනුව මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකොට සම්පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති නිර්දේශ කළේය.

    එසේම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සංවිධාන ව්‍යුහය හා වැටුප් ව්‍යුහය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතිය යටතේ සිදු කළ යුතු බව සහ මුදල් ඇමතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත සංශෝධනයක් ඉදිරිපත් කර අනුමත කරගත යුතු බව දන්වා තිබුණද 2021 වර්ෂය අවසන් වන විට ද එය සිදු නොකර යම් යම් කාර්යන් සඳහා වියදම් සිදු කිරීම පිළිබඳව කෝප් කමිටුව සාකච්ඡා කළේය. විශේෂයෙන්ම මෙහිදී ආයතනයේ කාර්ය මණ්ඩලය වෙත දීමනා වර්ග 11ක් යටතේ රුපියල් 45,873,483 ක් ගෙවා තිබීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් සමස්ත මෙහෙයුම වියදමෙන් රුපියල් 86,808,538 ක් එනම් මුලු මුදලෙන් 49% ක් වැය කර තිබීම පිළිබඳව ද කෝප් කමිටු වැඩි වශයෙන් අවධානය යොමු කළේය.

    එසේම විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යසාධනය, ප්‍රවණතා, ඉල්ලුමේ වෙනස් වීම්, ආදිය අධීක්ෂණය තුළින් රජයට උපදෙස් දීම සහ නියාමනයට අවශ්‍ය පියවර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දෛනිකව සැපයිය යුතු සම්ප්‍රේෂණ සාරාංශය, සත්‍ය පද්ධති බෙදාහැරීම හා දෛනික බෙදාහැරීම් උපලේඛනය 2018 මැයි මාසයේ සිට 2019 දෙසැම්බර් දක්වාම කොමිෂන් සභාව වෙත ලබා දී නොතිබීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම මෙහිදී 2018- 2037 වර්ෂ සඳහා අනුමත වී ඇති විදුලි ජනන සැලැස්ම පිළිබඳ අවධානය යොමු වූ අතර පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ 2021 වර්ෂයේ දී තවත් නව ජනන සැලැස්මක් පිළිබඳ දත්ත ඉදිරිපත් කළ බවත් සුදුසු අවශ්‍යතාවයන් සපුරා නොතිබූ බැවින් අනුමත වී නැති බවත් ය. මෙහිදී කෝප් කමිටුව සඳහන් කළේ දේශපාලන අධිකාරීන් වෙනස් වන විට මෙම සැලසුම් වෙනස්වීම නිසා ගැටලු මතුවන බැවින් මේ පිළිබඳ සියලු පාර්ශව වල වැඩි අවධානය යොමුවිය යුතු බවයි.

    තවද 2016 නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් සඳහන් විදුලිබල (බෙදාහැරීමේ) කාර්යසාධන ප්‍රමිති නියෝග යටතේ, කාර්යසාධන රිති මාලාව සකස් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ වගකීම කොමිෂන් සභාවට පැවරී තිබුණි. මේ අනුව නියෝගය බලාත්මක වීමෙන් මාස 36ක් ඇතුළත ක්‍රියාත්මක කළ යුතු එම කාර්යය වසර 4කට ආසන්න කාලයක් ගතවී ඇතත් 2018 වර්ෂ තුළදී සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබූ අනුවර්තන අදියර පවා මෙතෙක් නිම නොකිරීම පිළිබඳ කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ මෙය වසර 3කින් අදියර 3කට සිදු කිරීමට සැලසුම් කොට තිබූ බවත් ක්‍රමවේදය වෙනස්කිරීමේ අවශ්‍යතාවය සහ මීට සම්බන්ධ පාර්ශවල සම්බන්ධතාවයේ ගැටලු මත තවම සිදුවී නැති බවයි.

    මෙම කාරක සභාව සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ලෙස අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ඉන්දික අනුරුද්ධ, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, (ආචාර්ය) නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර, ප්‍රේම්නාත් සී දොලවත්ත සහ මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ. එසේම කමිටුවේ සාමාජිකයින් නොවන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත මීට සහභාගී විය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.