fbpx
තවත්
    මුල් පිටුවජීවන රටාවසිරගත කිරීමට විකල්ප ක්‍රමවේදයක් වූ ප්‍රජා පාදක විශෝධනය

    සිරගත කිරීමට විකල්ප ක්‍රමවේදයක් වූ ප්‍රජා පාදක විශෝධනය

    සමාජයීය සත්වයකු වන මිනිසා, ඔහු විසින් සිදු කරන  ක්‍රියාවන්  අනුව හොඳ හා නරක ලෙස වර්ගීකරණ කිරීම පෙර සිටම පැවත එන්නකි .සමාජ සම්මතයෙන් බැහැර වූ හා නීතිය ඉක්මවා ගිය ,සමාජ විරෝධී හා  හානිදායක ක්‍රියාවන් අපරාධ ලෙස පොදුවේ හැදින්විය හැකි අතර ඒ සඳහා දඬුවමක් පැනවිය හැකිවේ. අපරාධකාරී චර්යාවකට පුද්ගලයකු යොමු වීම සඳහා   ආරය , ප්‍රවේණිය වැනි ජීව විද්‍යාත්මක සාධක මෙන්ම පාරිසරික සාධක ද පවුල ,සමවයස් කණ්ඩායම් , මිතුරු කණ්ඩායම් ,සමාජ  කණ්ඩායම් වැනි සමාජීය සාධකයන් ද බලපානු ලබන බව අධ්‍යනයන්  මගින්  හෙළිවී ඇත .අපරාධකාරී  චර්යාවන් හි නිරත වීම යනු නීතිය කඩ කිරීමකි. ඒ සඳහා  සිරගත් කිරීම ,දඩ ගැසීම අත්හිටවූ සිර දඬුවම් ලබා දීම වැනි නොයෙකුත්  දණ්ඩන ක්‍රම යොදාගනී. දඬුවමකින් මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ   අපරාධ පාලනය කිරීම හා නිවාරණයයි .තමා කල නීතිවිරෝධී හා අපරාධකාරී ක්‍රියාව  සඳහා  වන්දි ගෙවීමක්  ලෙස  මෙන්ම  නැවත අපරාධකාරී ක්‍රියාවෙත නැඹුරු නොවන ලෙස අපරාධකාරී චර්යාවෙන්  ඉවත්  කරගැනීම සඳහා විශෝධනය කිරීම හා පුනරුත්තාපනය කිරීමද දඬුවමේ මුලික අරමුණු  වේ . සිරගත කිරීම හෝ දඩමුදල් නියම කිරීම වැනි දණ්ඩන ක්‍රමවේදයන් වර්තමානය තුල වඩාත් ප්‍රචලිත වුවද  ඉන් ඔබ්බට ගිය වඩාත් සාර්ථක  විකල්ප දණ්ඩන  ක්‍රමවේදයන් වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල ඉතා සාර්ථක  ලෙස ක්‍රියාත්මක   වේ . ප්‍රජා පාදක විශෝධන ක්‍රියාවලිය (Community Based Corrections)  ඒ අතර ප්‍රමුඛස්ථානයක්  ගනී .

    ක්‍රි .ව 1700 ගණන් වල මුල්භාගයේ  යුරෝපය තුල ආරම්භ වී වර්තමානය  වනවිට ඔස්ට්‍රේලියාව , නවසීලන්තය   හා ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් ගණනාවක ඉතා සාර්ථක ලෙස  ක්‍රියාත්මක වන මෙම  විකල්ප දණ්ඩන ක්‍රමවේදය  ශ්‍රී ලංකාව තුල ආරම්භ  වීමේ  මුලික පියවර වන්නේ 1979 අංක  15 දරණ  අපරාධ නඩු විධාන සංග්‍රහයේ  18 වැනි වගන්තිය මගින් , අධිකරණය මගින් පැනවූ සිරදඬුවමක් හෝ දඩ මුදලක් වෙනුවට විකල්පයක් වශයෙන් රජයේ  හෝ ආගමි ස්ථානයක නිශ්චිත කාලසීමාවක් සඳහා සේවයේ යෙදීමට  ඉඩ  ලබා දීමයි .මෙය  ප්‍රජා සේවා ආඥාවක් ලෙස හඳුන්වන ලදී . 1999 අංක 49 දරන ප්‍රජා පාදක විශෝධන පනත මගින් වඩාත් විධිමත්  විශෝධන  ක්‍රියාවලියක් ලෙස ප්‍රජා පාදක විශෝධන ක්‍රමවේදය මෙරට තුල ආරම්භ  වූ අතර වර්තමානය වන විට  දිවයින පුරා පිහිටි සෑම  මහේස්ත්‍රාත් අධිකරණයක් ම ආවරණය වන පරිදි ප්‍රජා විශෝධන කාර්යාල පිහිටුවා ඇත . 2018 වර්ෂය වන විට   වාර්ෂිකව ප්‍රජා විශෝධන ආඥා 13000 කට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින්  සුළු අපරාධ  සඳහා වැරදිකරුවන් වූ පුද්ගලයින් සාර්ථකව විශෝධනය කොට නැවත සමාජ ගත කිරීමට ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත .

     

    ප්‍රජා විශෝධන ක්‍රියාවලිය  යනු කුමක් ද ?

    සුළු වරදක් සඳහා අධිකරණය මගින් වරදකරුවකු වූ තැනැත්තෙකුට   දඬුවම  ලෙස ලබාදියහැකි, දඩ මුදලක්  හෝ  වසර 2 කට අඩු අනිවාර්‍ය  නොවන  සිරදඩුවමක්   හෝ අත්හිටවූ සිරදඩුවමක්  වෙනුවට ප්‍රජා පාදක විශෝධන නියෝගයක් ලබාදීමට පුළුවන. සාම්ප්‍රදායික දඩුවම් ක්‍රමවේදයෙන්  බැහැර වූ මෙම  ක්‍රියාවලිය තුලදී  අපරාධයක් සිදුකල තැනැත්තෙකුට ඒ සඳහා වන්දිගෙවීමක්  ලෙස  දඩුවම් කිරීමේ  ක්‍රමයෙන් බැහැරට ගොස් , පුද්ගලයා  අපරාධකාරී චර්යාවන්හට  යොමු වීම සඳහා බලපෑ හේතු හඳුනා ගැනීමත් ,නිසි ක්‍රමවේදයන්  හා උපදේශනය වැනි වෘත්තීමය   ශිල්පක්‍රමයන් යොදාගනිමින් එම අපරාධකාරී චර්යාව  ඉවත්කිරීම සඳහා කටයුතු කරනු ලැබේ .ඒ තුලින් පුද්ගලයා නැවත සමාජ විරෝධී හා අපරාධකාරී  චර්යාවන් වල නිරතවීමේ අවදානම  ඉවත් වේ .

     

    එක්  එක පුද්ගලයා නිරත වූ අපරාධ කාරී ක්‍රියාවන් එකිනෙකට වෙනස් විය හැකි බැවින්  ඒ ඒ පුද්ගලයාගේ  අවශ්‍යතාව හඳුනාගනිමින්  විශෝධන සැලැස්මක් ගොඩනගා ගන්නා  අතර ඒ තුලින් පුද්ගලයා අපරාධ හෝ සමාජ විරෝධී  ක්‍රියා සඳහා  යොමු වීමට බලපෑ හේතුව හඳුනා ගනු ලබන අතර මනෝ විද්‍යාත්මක උපදේශනය වැනි  ක්‍රමවේදයන් හරහා  පුද්ගල චර්යාවන් නිවැරදි කිරීම සඳහා කටයුතු කරනු ලැබේ . අපරාධකාරී  චර්යාවට හේතුව  යම් කිසි ශාරීරික රෝගයක්  හෝ  ප්‍රතිකාර ලැබිය යුතු ඇබ්බැහිතාවක්  ලෙස  හඳුනා ගතහොත් වෛද්‍යප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදුකෙරේ .එසේම විශෝධන ක්‍රියාවලිය අවසන් වී  යහපත් පුරවැසියකු ලෙස සමාජ ගතවීම සඳහා  යම් ජීවිකාවක් ගෙනයාමට අවශ්‍ය කරන වෘත්තීය පුහුණු ව වෙත යොමු කිරීමද මෙම ක්‍රියාවලිය තුල සිදුකෙරේ . ආගමික කටයුතු,භාවනා වැඩසටහන් හා යෝග වැනි ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්ද  ප්‍රජා විශෝධන නියෝග ලද ආඥා ලාභීන් ගේ මානසික සමබරතාව ඉහල නැංවීම සඳහා යොදාගැනේ .එසේම නොයෙකුත් අධ්‍යාපනික වැඩසටහන්  හා ආර්ථික කටයුතු සංවර්ධනය සඳහා  සිදුකෙරෙන විශේෂ වැඩසටහන් සඳහා ආඥා ලාභියා පමණක් නොව  ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ද සම්බන්ධ කරගනී .  මෙසේ මෙම  කාර්යභාරය  නිරන්තරයෙන්  නිසි අධීක්ෂණයක් යටතේ සිදු කෙරෙන අතර  ඒ සඳහා  අපරාධ විද්‍යාව,නීතිය ,සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාත්මක උපදේශනය පිළිබඳව හසල නිපුණතාවකින් යුතු  ප්‍රජා විශෝධන නිලධාරීන් ක්‍රියා  කරන අතර   මෙම ක්‍රියාවලිය  සඳහා   ඔවුන්ට  ප්‍රජා  විශෝධන වැඩ පරීක්ෂක වරුන් හා  ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරීන් විසින්  සහය ලබා දේ .

    ප්‍රජා විශෝධන ක්‍රියාවලිය වැදගත් වන්නේ ඇයි ?

    පුද්ගලයකු අපරාධ කරුවකු වන්නේ ස්ව කැමැත්තෙන් නොවේ. ඒ සඳහා නොයෙකුත් සමාජයීය,පාරිසරක  හා මනෝවිද්‍යාත්මක හේතු බලපායි . සුළු වරදකට  ලබන දඬුවම ලෙස  සිරගත වන පුද්ගලයා  බන්ධනාගාරය තුලදී  දරුණු ගණයේ  අපරාධ කරුවන් හා මිශ්‍ර වීම තුලින් වඩාත්  අවදානම් කාරී තත්වයකට ලක් වීමට හෝ වෙනත් සංවිධානාත්මක අපරාධ ජාලයක කොටස්කරුවෙකු වීමේ වැඩි අවධානමක්  ඇත . මෙබඳු පුද්ගලයෙකු දඬුවම් කාලය අවසන් ව නැවත සමාජගත වීම වඩාත් අවදානම්කාරී වේ . බන්ධනාගාර ගත නොකොට  තම පවුල හා සමාජය තුල රැඳෙමින් ම පුනරුත්තාපනය වීමේ ක්‍රමයක් වන මෙම ක්‍රමවේදය තුලදී එබඳු අවදානමක් ඇතිනොවේ . එසේම මෙම  ක්‍රියාවලිය තුලදී    වරදකරුට  පවුල හා සමාජය හා ඇති බැඳීම  අහිමි නොවේ . එසේම සිරගත වීමකදී පුද්ගලයාට හා පවුලට  ඇතිවියහැකි සමාජ අපවාදය ,අනාරක්ෂිතභාවය  වැනි දේ ඇති නොවේ.

     

    ප්‍රජාව තුල හිඳිමින් ම සිදු කෙරෙන  පුනරුත්ථාපන  ක්‍රියාවලියක්  වන ප්‍රජා විශෝධන ක්‍රියාවලියේදී , පුද්ගලයාගේ රැකියාව අහිමි නොවීම නිසා පවුලේ ආර්ථික සුරක්ෂිතතාවය  තහවුරු වේ .එසේම ප්‍රජා විශෝධන ක්‍රියාවලිය තුලදී වෘතීය පුහුණුව ලබා දීම , ස්වයංරැකියා අවස්ථා සඳහා විශේෂ ව්‍යාපෘති යටතේ ආධාර ලබාදීම වැනි කටයුතු  හේතුවෙන්  පුද්ගලයා හා පවුල වඩාත්  ආර්ථික වශයෙන්ස්ථා වර  තත්වයකට පත්වේ .

    වර්තමානයේ පවතින ආර්ථික අර්බුදකාරී තත්වය යටතේ දඩය අයකරගැනීම වෙනුවත් සාර්ථක විකල්ප ක්‍රමවේදයක් වන ප්‍රජා පාදක විශෝධනය  මගින් බන්ධනාගාර තදබදය අවම කිරීමට ද වඩාත් සාර්ථක විසඳුමක් ලබා දෙන අතර  බන්ධනාගාර රැඳවියන් ගේ ආහාර හා අනෙකුත් සුබසාධන කටයුතු  වෙනුවෙන්  වැයකරන විශාල රාජ්‍ය වියදම අවම කරගැනීමේ හැකියාවද පවතී .

    බන්ධනාගාර තදබදය  වර්තමානයේ  පැනනැගී ඇති තවත් ගැටළුවකි . ශීග්‍රයෙන් වැඩිවන සිරකරුවන් ප්‍රමාණයට සාපේක්ෂව බන්ධනාගාර වල ඇති ඉඩපහසුකම් ප්‍රමාණවත් නොවේ.මෙම ගැටළුව සඳහාද ප්‍රජා පාදක විශෝධනය හොදම විසදුමකි .

     

    සුළු අපරාධ  වලට වරදකරුවන් වූ කාන්තාවන් ට ද ප්‍රජා විශෝධන ආඥාවන් ලබා ගැනීමට පුළුවන .විශේෂයෙන්ම සුළු වැරදි සඳහා දඬුවම ලෙස බන්ධනාගාර ගතවීමට සිදුවුවහොත් කාන්තාවකට පුරුෂයෙකුට වඩා මුහුණදීමට සිදුවන ගැටළු සාපේක්ෂව වැඩි ය .මවක් ,බිරිඳක්  ලෙස පවුලක් තුල විශාල භූමිකාවක් ගෙනයන ඇය  සිරගත වීම තුලින්  පවුලෙන් ඉවත්වීම දරුවන්ට ,සැමියා ට  ඉතා අයහපත්  බලපෑම් ඇතිකරයි . සමාජ අපවාදය ,දරුවන් අනාරක්ෂිත වීම ,පවුල් විසිරී යාම  වැනි  බලපෑම් වල අවසන් ප්‍රතිඵලය  වන්නේ සමාජ ගැටළු රැසක ඇරඹුමයි .නමුත්  එබදු කාන්තා වරදකරුවන්ට ප්‍රජා පාදක විශෝධන ක්‍රියාවලියට යොමුවීම තුලින්  තම පවුල තුල සිටිමින්ම  තම වරද නිවරැදි  කරගනිමින් යහපත් පුරවැසියකු ලෙස  නැවත සමාජ ගත වීමේ අවස්ථාව  හිමිවේ . එමෙන්ම මත්ද්‍රව්‍ය ඇබ්බැහිතාවයට ගොදුරු වූ කාන්තාවන්ට ඉන් මිදීම සඳහා උපදේශනය හා ප්‍රතිකාර පදනම් කොටගත්  විශේෂ විශෝධන වැඩසටහන් මෙම කිරියාවලිය තුල සිදුකෙරේ . ස්වයංරැකියා පුහුණු වැඩසටහන්  හා  ස්වයංරැකියා ආධාර වැඩසටහන් වැනි වැඩසටහන් තුලින් විශෝධන ක්‍රියාවලිය අවසන් වූ පසු  ආර්ථික ස්ථාවරත්වයක් ලඟාකරගත  හැකිවේ .

     

    ප්‍රජා පාදක විශෝධන ආඥාවක් ලබාගන්නේ කෙසේද ?

    ඔබ සුළු වැරද්දක් සඳහා මහේස්ත්‍රාත් අධිකරණයක් මගින් වැරදිකරුවකු  වී ඇත්නම්  ඒ සඳහා දඬුවම ලෙස නියම කරනු ලබන දඩ මුදල,සිර දඬුවම හෝ අත්හිටවූ සිරදඬුවම වෙනුවට ඔබට ප්‍රජා  විශෝධන  නියෝගයක් ලබාගත හැකිය.ඒ සඳහා  සිදු කල යුත්තේ ඔබගේ නීතීඥ වරයා  මගින්  ප්‍රජා විශෝධන ආඥාවක්  ලබා දෙන මෙන් ගරු අධිකරණයෙන් ඉල්ලීමක් කිරීම පමණි .

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න
    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න
    සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

    ඔබේ අදහස් දක්වන්න.