fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කුවේට් එයාර්වේස් හවුල්කාරිත්ව ගිවිසුමකට

    ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කුවේට් එයාර්වේස් හවුල්කාරිත්ව ගිවිසුමකට

    ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කුවේට් එයාර්වේස් 2022 ජූලි මස 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි නව සංකේත හුවමාරු හවුල්කාරිත්වයක් දියත් කිරීමට කටයුතු යොදා ඇති අතර  එමඟින් ගුවන් සමාගම් දෙකෙහිම පාරිභෝගිකයින්ට වැඩිදියුණු කළ සම්බන්ධතා සහ පහසුකම් ලබා දීමට හැකි වනු ඇත. ඒ අනුව  ගුවන් සමාගම් දෙකම කොළඹ සහ කුවේට් අතර ක්‍රියාත්මක වන ගුවන් ගමන් සඳහා අනෙකුත් ගුවන් සමාගමේ අලෙවිකරණ සංකේතය යටතේ මෙහෙයුම් සිදුකරනු ඇත.

    1999 වසරේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කුවේට් එයාර්වේස් අතර පවතින වාණිජ සබඳතාව නව සංකේත හුවමාරු හවුල්කාරිත්වය තුළින් තවදුරටත් ශක්තිමත් කර නව තලයකට ගෙන යනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගම දශක හතරකට වැඩි කාලයක් කොළඹ සහ කුවේට් අතර මගීන් රැගෙන ගොස් ඇති අතර දැනට කුවේට් වෙත දෛනික ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.  එසේම, කුවේට් එයාර්වේස් 1978 සිට මෙම මාර්ගයේ මගීන්ට සේවා සපයන අතර 2022 ඔක්තෝබර් මාසයේ සිට සතිපතා කොළඹට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    මෙම හවුල්කාරිත්වය දියත් කිරීමත් සමඟම ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමේ සිට අවසන් ගමනාන්තයට පැමිණෙන තෙක් සිය සම්පූර්ණ ගමන එකම ගුවන් සමාගමකින් කළමනාකරණය කර ගැනීමේ පහසුව මගීන්ට හිමිවනු ඇත. එසේම සිය සංචාරය බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත්  ගුවන් ගමන්වල සියලු ප්‍රතිලාභ ලබාගැනීමටත් මගීන්ට අවස්ථාව හිමිවේ.  තවද, ගුවන් සමාගම් දෙකෙහිම මගීන්ට විශේෂයෙන් මැදපෙරදිග සහ යුරෝපයට කුවේට් හරහා සහ ඉන්දියානු උපමහාද්වීපයට මෙන්ම  කොළඹ හරහා ඈත පෙරදිගට ගුවන් ගමන් විකල්පයන් භුක්ති විඳිය හැකිය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය, “ සැමවිටම අපගේ ගනුදෙනුකරුවන්ට විවිධ ආකාරවලින් වටිනාකමක්  ලබාදීමට අපි අපේක්ෂා කරනවා.  කුවේට් එයාර්වේස් සහ ශ්‍රීලංකන් ගුවන් සේවය අතර දිගුකාලීන සබඳතාවයේ නව පරිච්ඡේදයකට අවතීර්ණ වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මැදපෙරදිග වෙළෙඳපොළ ශ්‍රීලංකන් ගුවන් සමාගමට සැමවිටම වැදගත් වෙනවා, මෙම අංශයට වඩා හොඳින් සේවය කිරීම සඳහා අපගේ ජාලය සහ නිෂ්පාදන පුළුල් කිරීමට අපි අඛණ්ඩව උත්සාහ කරනවා. අපි කුවේට් එයාර්වේස් සමඟ වැඩ කිරීමටත් අපගේ මගීන්ගේ ප්‍රයෝජනය සඳහා අපගේ ඒකාබද්ධ ජාල අතර විශාල සහයෝගීතාවයක් ඇති කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    කුවේට් එයාර්වේස් හි ප්‍රධාන විධායක නිලධාරී Maen Razouqi මහතා

    කුවේට් එයාර්වේස් හි ප්‍රධාන විධායක නිලධාරී Maen Razouqi මහතා මෙසේ පැවසීය, ” ශ්‍රීලංකන් ගුවන් සමාගම අපගේ හවුල්කරුවෙකු ලෙස අපි සාදරයෙන් පිළිගන්නවා.  මෙම හවුල්කාරිත්වයේ නව ආරම්භය කුවේට් එයාර්වේස් සහ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් මෙහෙයුම් සිදුකරන ප්‍රධාන නගර දෙක අතර‍ මෙහෙයුම් සඳහා විශාල සහයක් ලබාදෙනවා. ඒ වගේම ගුවන් සමාගම් දෙක විසින් සපයනු ලබන සේවාවන් හරහා මහජනතාවට වැඩි සංචාරක විකල්ප, පහසුකම් ලබා දෙනු ඇත. මගීන්ට සහ සංචාරක නියෝජිතයින්ට අපගේ කාර්යාල/වෙබ් අඩවිය/APP සහ නියෝජිතයින්ගේ වෙන් කිරීමේ පද්ධතිය හරහා මෙම ගුවන් ගමන් සඳහා සෘජුවම වෙන්කරවා ගැනීමට හැකි වනු ඇත. තවද, මෙම Codeshare හවුල්කාරිත්වය ගුවන් සමාගම් දෙක අතර සබඳතාව වැඩිදියුණු කිරීම පමණක් නොව, මිත්‍ර රාජ්‍යයන් දෙක වන කුවේට් සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවයක් ද වර්ධනය කරනු ඇත. මෙම අවස්ථාවෙහිදී, මෙම සංඛේත හුවමාරු ගිවිසුම බලාත්මක කිරීමට ගත් උත්සාහය වෙනුවෙන් Richard Nuttall මහතාට මෙන්ම කණ්ඩායම් දෙකටම මම ස්තූතිවන්ත වෙනවා. ” යනුවෙන් ඒ මහත වැඩිදුරටත් සඳහන් කළේය.

    ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කුවේට් එයාර්වේස් යන සමාගම් දෙකම සංකේත හුවමාරු කර ගැනීම නිරන්තර පියාසර කරන වැඩසටහන ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටින අතර, එම වැඩසටහන්වල ප්‍රතිලාභ මගීන්ට ලබා දිය හැකිය. තවද, ගුවන් සමාගම් දෙකම අනාගත අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ ඔවුන්ගේ හවුල්කාරිත්වය පුළුල් කිරීම සඳහා වෙනත් මාර්ග ගවේෂණය කිරීමට අපේක්ෂා කරයි.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.