fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් සහතික ඕනෑ - IMF දූත පිරිස කියයි

    ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් සහතික ඕනෑ – IMF දූත පිරිස කියයි

    මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සකස් කිරීමේදී බලධාරීන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත් ඔවුන් සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදු කරගෙන යාමට අපි බලාපොරොත්තු බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල‍ේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නම් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්‍රමාණවත් සහතික අවශ්‍ය බව එම අරමුදලේ මෙරට පැමිණි නියෝජිතයන් පවසා තිබේ.

    මෙරටට සාකච්ඡා සඳහා පැමිණි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දූත කණ්ඩායම සිය සංචාරය අවසානයේ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

    අප්‍රේල් මස මුල සිට මෙරට බලධාරීන් ක්‍රියාත්මක කළ මුදල් හා රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය සහ අනෙකුත් ක්‍රියාමාර්ග මෙම අර්බුදයට පිළියම් ලෙස තැබූ වැදගත් පළමු පියවරයන් බව ද එම නියෝජිතයන් පෙන්වා දී තිබේ.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ආධාරයෙන් සිදු කරන ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පිලිබඳ සාර්ථක සහ ඵලදායි සාකච්ඡා සිදු කරන ලද අතර නිලධාරී කණ්ඩායම සහ බලධාරීන් සාර්ව ආර්ථික සහ ව්‍යුහාත්මක ප්‍රතිපත්ති පැකේජය තීරණය කිරීම පිළිබඳ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත් බව ද එහි දැක්වේ.

    විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් නුදුරේදීම නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹීම අරමුණු කර ගනිමින් සාකච්ඡා ඉදිරියේදී මාර්ගගත ක්‍රමය යටතේ අඛණ්ඩව සිදු කරනු ඇති අතර රජයේ ණය තිරසාර නොවන බවට තක්සේරු කර ඇති නිසා විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ණය තිරසාරභාවය නැවත ස්ථාපිත කර ගැනීමට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් මුල්‍යනයන් පිළිබද සහතිකයන් අවශ්‍ය බව එම ප්‍රකාශයේ සඳහන් ය.

    “ මෙම පසුබිම තුළ, සාර්ව ආර්ථික අසමතුලිතතා නිවැරදි කිරීම, රාජ්‍ය ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනයේ විභව මට්ටම වෙත ළඟා වීම සඳහා පුළුල් ආර්ථික වැඩසටහනක් සැලසුම් කිරීම පිළිබඳව සාකච්ඡාවන්හිදී අවධානය යොමු විය. දිළිඳු සහ අවදානමට ලක්විය හැකි ජනතාව සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සහතික කරන අතරම, ඉහළ ගිය රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කිරීමේ අවශ්‍යතාවය ඇතුළුව, සංචාරය අතරතුර සාකච්ඡා සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත්තේය. ආදායම් අඩු මට්ටමක පවතින බැවින්, මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් ප්‍රතිඑල ඇති වන බදු ප්‍රතිසංස්කරණ කඩිනමින් අවශ්‍ය වේ. විසඳුම් සෙවීමට අවශ්‍ය අනෙකුත් අභියෝග අතරට, උද්ධමනය ඉහළ යාම, දැඩි ගෙවුම් තුලන පීඩනය අවම කිරීම, දූෂණ අවදානම් අවම කිරීම සහ ආර්ථික වර්ධනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් වන ප්‍රතිසංස්කරණ ඇතුළත් වේ. බලධාරීන් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සකස් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර ඔවුන් සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදු කරගෙන යාමට අපි බලාපොරොත්තු වෙමු.” යැයි ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සිය ප්‍රකාශයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

    පීටර් බෲවර් සහ මසහිරෝ නොසාකි යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් පසුගිය 20-30 දිනවලදී කොළඹට පැමිණියහ.

    ශ්‍රී ලංකාවට එම අරමුදලේ සහාය ලබාදීමට සහ බලධාරීන්ගේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබද සාකච්ඡා කළ අතර ආසියා සහ පැසිෆික් කලාපීය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඈන්-මරී ගුල්ඩේ-වුල්ෆ් මහත්මිය ද ප්‍රතිපත්ති සාකච්ඡාවලට සහභාගී විය.

    දුත මණ්ඩලයේ සංචාරය අවසානයේදී බෲවර් සහ නොසාකි මහත්වරුන් විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.