fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් මුල්‍යාධාර දෙන්න පුළුවන්දැයි බැලීමට ආ ඉන්දීය දූත පිරිස ජනපතිට කී දේ..

    තවත් මුල්‍යාධාර දෙන්න පුළුවන්දැයි බැලීමට ආ ඉන්දීය දූත පිරිස ජනපතිට කී දේ..

    ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජයත්, දේශපාලන අධිකාරියත් කැප වී සිටින බව ජනාධිපතිවරයා හමුවේ පැවසූහ.

    සමීප මිතුරෙකු ලෙස උද්ගත ව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා එහිදී සඳහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය දූත පිරිස අතර සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ය.

    ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී තිබේ. ඒ පිළිබඳවද දූත පිරිස එහිදී සමාලෝචනය කර ඇත.

    අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වෙමින් ඉන්දීය රජය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරයි. ඒ වෙනුවෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයටත්, ජනතාවටත් පිරිනමන බව ජනාධිපතිවරයා දූත පිරිසට කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

    දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මනින් රට යථා තත්ත්වයට පත් වනු ඇතැයි ද දූත පිරිස විශ්වාසය පළ කළහ.

    ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත්, ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්ත නාගේෂ්වරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ , නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ්, ඉන්දීය සාගරික කලාප (IOR) ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියහ.

    බංග්ලාදේශ-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 50 යි

    මේ අතර බංග්ලාදේශය සහ මෙරට ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කාලය එළැඹ ඇති බවත් එමඟින් ඇඟලුම්, කෘෂිකර්ම, සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බව ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා පවසයි.

    අද (23) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

    දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 2022දී 50 වසරක් සපිරේ. මෙම කාලපරිච්ඡේදය තුළ ඉතා සමීපව සහ සුහදව කටයුතු කිරීමට රාජ්‍යයන් දෙකට ම හැකි විය.

    පවතින ආර්ථික අර්බුදයේදී ද බංග්ලාදේශය ලබා දෙන සහාය ජනාධිපතිවරයා ඇගයීමට ලක් කළේය.

    වෙළෙඳ, සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට දෙරටට ම අවස්ථාව ඇති බව පෙන්වා දුන් මහකොමසාරිස්වරයා පවතින වතාවරණයෙන් කඩිනමින් අත්මිදීමට ශ්‍රී ලංකාවට හැකි වෙතැයි විශ්වාසය පළ කරනු ලැබී ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.