fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්පැන් ඉල්ලුම අඩුවෙද්දී වැඩිවෙච්ච නරකම දේ..

    මත්පැන් ඉල්ලුම අඩුවෙද්දී වැඩිවෙච්ච නරකම දේ..

    රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩුවීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

    මේ නිසා නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවනතාවක් ඇති වී තිබෙන බව ද එහිදී හෙළිවී ඇත.

    මේ පිළිබඳ අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

    මෙහිදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ලඟාවීමේදී ගැටලු කිහිපයක් ඇති වී තිබෙන බවත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතු වී ඇති බවත් මෙම නිලධාරීන් සඳහන් කළේය.

    එසේම මත් පැන් මිල වැඩිවීම සහ ජනතාවට ආර්ථික අපහසුතා පැවතීම යන කරුණු නිසා මත්පැන් ඉල්ලුම 30%කින් පමණ අඩු වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

    එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත අදායම් සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි. විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමේදී කටයුතු කරන ආකාරය සහ බදු පරිපාලනය වැඩි දියුණු කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ නිලධාරීන් සමග ඔහු සාකච්ඡා කළේය.

    මීට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මෙම වසරේදී ලබාගැනීමට බලාපොරොත්තු වන ආදායම පිළිබඳවද මෙහිදී සවිස්තරව සාකච්ඡා කරන ලදි.

    විශේෂයෙන්ම රාජ්‍ය ආදායම වැඩිකරගැනීමට සකස්කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මාර්ග ගත ක්‍රමය ඔස්සේ ආයතන කිහිපයක් නියෝජනය කරන නිලධාරීන් සම්බන්ධකරගැනීම මෙහිදී සිදු විය.

    මේ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන් මෙසේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධකර ගැනීම සිදු විය.

    මෙම කාරක සභාව සඳහා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) හර්ෂ ද සිල්වා, අනූප පැස්කුවෙල් සහ (වෛද්‍ය) කාවින්ද හේෂාන් ජයවර්ධන යන මහත්වරු ද සහභාගී වූහ

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.