fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් ප්‍රශ්න - ප්‍රවාහනය - ගාස්තු ගැන තීරණ කිහිපයක්

    තෙල් ප්‍රශ්න – ප්‍රවාහනය – ගාස්තු ගැන තීරණ කිහිපයක්

    • ලංගම ඩිපෝවලින් රෑට රෑට ප්‍රයිවට් බස්වලට තෙල්
    • දුර බස්වල ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය කෙටි දුරටත්
    • පොදු ප්‍රවාහනයට තෙල් දිගටම දෙන වැඩක්
    • Park & Drive ගාල්කරන ගාස්තු පහළට
    • ලංගම පඩි ප්‍රශ්න විසඳන්න පියවර
    • දුම්රියපොලවල් අසල parking පහසුකම්

    ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඉන්ධන හල් මඟින් රාත්‍රී කාලයේ පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන සැපයීමට පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී තීරණය වි තිබේ.

    තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත් ව සිටින අතර ඒ සමඟ පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ද ජනාධිපතිවරයා පැවසුවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (09) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ය.

    දුම්රිය හා බස් රථ සඳහා අඛණ්ඩව තෙල් සැපයීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

    ලංගම සහ පෞද්ගලික බස්රථ සඳහා දැනට ක්‍රියාත්මක ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය කෙටි ධාවනය සඳහා යොදා ගැනීමටත් යෝජනා කෙරිණ.

    Park & Drive ක්‍රමය ව්‍යාප්ත කිරීමටත් ඒ සඳහා රථවාහන ගාල් කිරීමේ දී අයකරන ගාස්තු අඩු කිරීමටත් තීරණය කරනු ලැබීය.

    තෝරාගත් දුම්රිය ස්ථාන ආසන්නයේ රථවාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා පැවසීය.

    කාර්යාල සේවය ඉලක්ක කර ගනිමින් නව දුම්රිය ගමන් වාර ඇරඹීමට සහ දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමටත් පියවර ගැනේ.

    ලංගම සේවක වැටුප් ගැටලුව විසඳීමට එකඟතාව පළ වූ අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේදී ම ඉදිරිපත් කිරීමට ද තීරණය කෙරිණ.

    දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් ආහාර භෝග වගා සඳහා වසරක කාලයකට බදු දීමට සැලසුම් කර තිබේ.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ගොවි සමිති සඳහා ඉතා සුළු බදු මුදලක් යටතේ අදාළ ඉඩම් ලබා දීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි යන මහත්වරු, රේඛීය ආයතන ප්‍රධානිහු, පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.