fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තංගල්ල- අහංගම ඝාතන දෙකේම වෙඩික්කරු එක් අයෙක්

    තංගල්ල- අහංගම ඝාතන දෙකේම වෙඩික්කරු එක් අයෙක්

    තංගල්ල මොරකැටිආරේදී ඊයේ රාත්‍රියේ කළ වෙඩි තැබීමත් අහංගමදී පෙරේදා රාත්‍රියේ කළ වෙඩි තැබීමත් එකම වෙඩික්කරුවෙකුගේ වැඩක් බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    එම වෙඩි තැබීම් දෙකෙන්ම මියගොස් ඇත්තේ මේ වන විට ඩුබායි හී රැදී සිටින හරක් කටා නැමැති මත්කුඩු කිලෝ 200කට වැඩි ප්‍රමාණයක් මහා මුහුදේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට සහ නාවික හමුදාවට අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදුන්නේ යැයි කියැවෙන පුද්ගලයින් දෙදෙනෙකි. අහංගමදී ඝාතනය වන්නේ බෝට්ටුකරුවෙක් වන අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ඝාතනය වූ දෙදෙනාම සම්බන්ධ වී ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    මොරකැටිආරේ සහ අහංගම වෙඩි තැබීම් සිදුවන්නේ වෙඩික්කරුවා යතුරු පැදියක ගමන් කරමින්ය. එම යතුරු පැදිය තංගල්ලේ අතුරු මාර්ගයක දමාගොස් තිබියදී සොයා ගැනීමට අද අළුයම් කාලයේදී පොලීසිය සමත්ව ඇත. එහි අංක තහඩු සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ව්‍යාජ අංක තහඩු යොදා යතුරුපැදිය භාවිතා කර ඇති බවය. බොහෝ විට එම යතුරුපැදිය සොරාගත් එකක් වන්නට ඇතැයි සැකකෙරේ.

    ඇගිලි සලකුණු අංශයේ නිලධාරීන් අද පෙරවරුවේ එහි කැදවා යතුරු පැදිය පරීක්ෂා කිරීමට නියමිතව ඇත.

    මෙතෙක් වෙඩික්කරුවා නිෂ්චිත ලෙස හදුනාගෙන නැත. යතුරු පැදිය අතුරු මාර්ගයේ දමා මෝටර් රථයකින් වෙඩික්කරුවා සහ යතුරුපැදිකරු පළාගොස් ඇති බවට තොරතුරු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.