fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්භාණ්ඩ හිඟ ඇතිකරන කූඨ ව්‍යාපාරිකයන් ගැන ජනපති දුන් නියෝගය

    භාණ්ඩ හිඟ ඇතිකරන කූඨ ව්‍යාපාරිකයන් ගැන ජනපති දුන් නියෝගය

    භාණ්ඩ හිඟයක් මවා පාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සාහය වැළැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බලධාරීන්ට උපදෙස් දී තිබේ.

    සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා නියෝග කර ඇත.

    වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළව මුහුණ දෙන අභියෝග සඳහා කඩිනම් විසඳුම් සලසා ගැනීම සම්බන්ධයෙන් අද (02) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    තොග වෙළෙඳපොළට බෙදාහරින කෘෂි අස්වනු කොටසක් ග්‍රාමීය වෙළෙඳසලට සෘජුවම ලැබීමට සැලැස්විය යුතු ය. එමඟින් සිදු වන ප්‍රවාහන වියදම අවම වීමෙන් ග්‍රාමීය පාරිභෝගිකයාට අඩු මිලකට භාණ්ඩ ලබා ගැනීමටත්, ගොවියාට ඉහළ මිලක් ලබා ගැනීමටත් හැකි වෙතැයි ජනාධිපතිවරයා පැවසීය.

    පවතින තත්ත්වය ප්‍රයෝජනයට ගෙන අසාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරෙන වෙළෙඳාම පිළිබඳ දැඩි අවධානයෙන් පසු වන ලෙසත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දුන්නේය.

    දිවයින පුරා පිහිටි සතොස සහ සමූපකාර වෙළෙඳසල් සක්‍රීයව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ වෙළෙඳුන්ගේ අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩ නො දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතු බව දීර්ඝව සාකච්ඡා කෙරිණ.

    වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් එස්.ටී. කොඩිකාර යන මහත්වරු සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්‍රධානීහු සාකච්ඡාවට එක් ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.