fbpx
තවත්
    මුල් පිටුවspecialලංකාව 'ශ්‍රී ලංකාව' වී වසර 50යි

    ලංකාව ‘ශ්‍රී ලංකාව’ වී වසර 50යි

    • රාජ්‍ය නායකයා ජනාධිපති ලෙස හඳුන්වා වසර 50 යි
    • ලංකාව ශ්‍රී ලංකාව වී වසර 50 යි
    • වර්තමාන රාජ්‍ය ලාංඡනය බිහි වී වසර 50 යි
    • සෙනෙට් සභාව අහෝසි වී වසර 50 යි
    • ලංකා පුරවැසියන් ලාංකික වී වසර 50 යි
    • මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ වී වසර 50 යි

    වසර දෙදහස් තුන්සිය පනස් නවයක් තිස්සේ මෙරට පාලනය කළ ස්වදේශීය රාජාණ්ඩු ක්‍රමය වර්ෂ 1815 මාර්තු 02 වනදා අවසන් කරමින් ලංකාව විදේශයකට නතු වූ යටත් විජිතයක් බවට පත්වූයේ උඩරට ගිවිසුම නම් ලියවිල්ලකට අනුවය. මෙම ගිවිසුම ප්‍රකාරව රට පාලනය වනවා නොදුටු මෙරට විසූ සිංහල නායකයන් “අපට වැරදුනා” යැයි පවසමින් ඉංග්‍රීසි අධිරාජ්‍යට එරෙහිව කඩු, පොලු, මුගුරු, දුනු, ඊතල ගෙන සටනට පිවිසයේ යටත් විජිතයක් වී වසර තුනක් සපිරෙනවාත් සමගය.

    මෙම අරගලය “දහ අටේ කැරැල්ල”, “වෙල්ලස්සේ සටන” ආදී නම් වලින් හැඳන් වුවද ඒකායන පරමාර්ථය වූයේ යළිත් රටේ පාලනය ස්වදේශිකයන් අතට ලබා ගැනීමය. මෙම කැරැල්ල ස්වදේශිකයන් විසින්ම පාවා දීම නිසා අසාර්ථක වූයේ ය. නැතිනම් ඉංග්‍රීසි පාලකයන් උඩරට රාජ්‍යය අතහැර යළිත් මුහුදුබඩ පළාත් වලට පමණක් සීමා වීමට ඉංග්‍රීසින්ට සිදුවීමට ඉඩ තිබිණි.

    මෙම අරගලයෙන් කෝප වූ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර වරයා පැවසුවේ “නුඹලා මින් ඉදිරියට පාලනය කරනුයේ ගිවිසුමට අනුව නොව අපට වුවමනා විදියටය. අප නුඹලා කඩුවෙන්, තුවක්කුවෙන්, කාල තුවක්කුවෙන් යටත් කරගෙන අවසානයි. අපි අපට ඕනෑ විදියට තොපිත්, රටත් පාලනය කරනවා.“ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා නිවේදනය කළේ හොඳටම තුවාල වී පණ බේරාගත් මෘග රාජයෙකු ලෙස ය.

    ඔහුගේ කියමන සැබෑක්වක්ම විය.

    1819 වසර වනවිට උඩරට පවුල්වලට හඬලා තිබුණේ කණකොකාය. සියලුම වංශවත් ප්‍රභූ පවුල්වල නායකයන් ඝාතනය කර තිබුණි. පණ පිටින් සිටියා නම් හිර ගෙවල් තුළය, නැතිනම් මරණයට දින නියම විය. එහෙමත් නොමැතිනම් වනගත වී සැඟවිලාය. එම පවුල් සතු දේපොළ, රන් රිදී, මුතු මැණික්, ඇත්දළ ආදිය රජය කොල්ල කා සිටි අතර නිශ්චල දේපොළ රාජ සන්තක වෙමින් තිබුණි. සාමාන්‍ය ජනතාව ආහාර අහේනියෙන්ද කොළරා, මැලේරියා හා වසූරිය වැනි වසංගතයන්ට හසු වී දිනපතා මිය යමින් සිටියහ. මෙම සියලු ව්‍යසන වලින් ලක්වැසි ජනයා පීඩිතව සිටියදී ඉංග්‍රීසි පාලකයන් ගෙනගිය රුදුරු පාලනයට එරෙහිව නැගී සිටීමට හැකි කිසිම ස්වදේශීය නායකයෙකු උඩරට රාජ්‍ය තුළ සිටියේ නැත.

    උඩරටින් ඇති වූ දෙවන කැරැල්ල ඇරඹුනේ පහත රටින් උඩරටට සංක්‍රමණය වූ වීර පුරන් අප්පු සහ ගොංගාලේ ගොඩ බණ්ඩා යන සාමාන්‍ය පුරවැසියන් දෙදෙනාගේ නායකත්වයෙන් 1848 කැරැල්ල, මාතලේ කැරැල්ල ආදී නම් වලින් හඳුන්වනු ලබන මෙම විමුක්ති අරගලයද යකඩයෙන්, උණ්ඩයෙන් මැඩ පවත්වන්නේ ඉතාමත් ශෝචනීය ලෙසය.
    1818 උඩරට කැරැල්ල රුදුරු ලෙස මර්දනය කළද බ්‍රිතාන්‍ය පාලකයන් සිංහල නායකයන්ගේ නැගිටීම පිළිබඳව බියට පත් වූ අතර එංගලන්තයේ යටත් විජිත භාර ප්‍රධානින් ද තැති ගත්තේ නොසිතූ ලෙසය. කැරැල්ලෙන් වසර දහයක් ගෙවී ගිය පසු 1829 දී මෙරටට පැමිණි කෝල් බෲක් කොමිසම විසින් සිදුකළ විමර්ශනයකින් පසුව ලංකාව පාලනය කරන ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීමට යෝජනවා විය.
    ඒ සමගම උඩරට හා පහතරට වෙන වෙනම නොව එකම පාලන ක්‍රමයකට ඇතුලත් කිරීමට ද යෝජනා විය. ඒ අනුව 1833 වසරේ සැප්තැම්බර් මස 28 වෙනි දින අතීතයේ තිබූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසුව ප්‍රාදේශීය වශයෙන් බෙදී වෙන්වී තිබූ සියලු පාලන විධි අහෝසි වී උඩරට හා පහතරටද එක්කර එකම පාලන ක්‍රමයක් බිහිවීම ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රමයේ ආරම්භක මුල් අවස්ථාව විය. ඒ සඳහා මුලික නීති රීති හා අණ පනත් 1833 මාර්තු 19 වෙනි දින ප්‍රකාශයට පත් කළ පනත අනුව 1833 ඔක්තෝම්බර් මස 01 වෙනිදා ව්‍යවස්ථාදායක සභාව නම් ආයතනය පිහිටුවන ලදී. එය වර්තමාන පාර්ලිමේන්තුවේ ආරම්භක අවස්ථාව විය.- ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීන් ගණන 06 කි. නිලධාරින් ප්‍රමාණය 09 කි. ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන මෙම සභාවට මන්ත්‍රීන් ඇතුලත් වූයේ මේ අවස්ථාවේදීය.

    • සිංහල ජනයා වෙනුවෙන් 01 ය.
    • ද්‍රවිඩ ජනයා වෙනුවෙන් 01 ය.
    • බර්ගර් ජනයා වෙනුවෙන් 01 ය.
    • යුරෝපීය ජාතිකයන් වෙනුවෙන් 03 ය.

    මෙම නියෝජිතයන් පත් කළේ ආණ්ඩුකාරවරයාගේ අභිමතය පරිදිය. 1833 වසරේ සිට 1911 දක්වා වසර 78 ක් තුළ ක්‍රියාත්මක වූ දේශපාලන ව්‍යවස්ථාදායකය වූයේ කෝල්බෘෘක් කොමිසම අනුව පිහිටුවන ලද ව්‍යවස්ථාදායක ව්‍යවස්ථාදායක සභාවය. විටින් විට මෙහි නියෝජිතයන් ප්‍රමාණය වර්ධනය වූ අතර පාලන විධි විධාන ද විටින් විට වෙනස් විය. කෝල්බෲක් කොමිසම ක්‍රියාත්මක වීමත් සමගම අප රට පළාත් පහකට ප්‍රථමයෙන් බෙදා වෙන් කරන ලදී. ඒ අනුව බස්නාහිර පළාත, දකුණු පළාත, උතුරු පළාත, මධ්‍යම පළාත් සහ නැගෙනහිර පළාත ලෙස නිර්මාණය විය.

    1833 ආරම්භ වූ ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රථම රැස්වීම පැවැත්වූයේ 1834 මැයි මාසයේදී ය. එය සිදු වී මෙම වසරට අවුරුදු 198 කි. මෙම රැස්වීම වර්තමාන පාර්ලිමේන්තු ක්‍රමයේ ආරම්භක අවස්ථාව වේ. 1833 වසරේ සිට 1920 වසර දක්වා අවුරුදු 90 කට ආසන්න කාලය තුළ අපරට පාලනය කළ පාලන ව්‍යූහය ව්‍යවස්ථාදායක සභාව විය. 1920 වසරේදී ව්‍යවස්ථාදායක රාජාඥවකින් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවක් යළිත් ස්ථාපිත විය. මෙය 1920 අගෝස්තු මස 13 වෙනි දින ප්‍රකාශයට පත් කරන ලදී.

    මෙම පාලන ක්‍රමයට අනුව ලංකාවේ පළාත් නවය සඳහා පළාත් නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වූ අතර ප්‍රථම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව 1921 ජුනි මස 07 වෙනි දින රැස්විය. මෙම මැතිවරණයේදී ලක්වැසියනට සර්ව ජන ඡන්ද බලය නොතිබීම නිසා ඡන්දය දීමට හැකි වූයේ සුදුසුකම් ලද වරප්‍රසාද හිමි පන්තිකට පමණී. ඒ අනුව ඡන්දය ඉල්ලීම උදෙසා ද පහත සඳහන් සුදුසුකම් හිමිවිය යුතුව තිබිණි.

    1. වයස් ප්‍රමාණය අවුරුදු 25 ඉක්මවා තිබීම.
    2. ඉංග්‍රීසි භාෂාව ලියන්නට හා කියවන්නට හැකියාව.
    3. රුපියල් 1,500/ කට නොඅඩු වාර්ෂික ආදායමක් ලබන්නෙකු හෝ රුපියල් 5,000/ කට නොඅඩු නිශ්චල දේපොළ ඇති අයෙකු වීම. ඒ සමගම ගමක ජීවත් වෙන්නෙකු නම් ඔහු පදිංචි නිවස රුපියල් 400 කට වඩා වටිනා කමක් තිබිය යුතු අතර නගරයක නම් එය රුපියල් 500 වාර්ෂික වටිනා කමක් තිබිය යුතු වීම.

    මෙම සුදුසුකම් සපුරන අයට ඡන්ද ඉල්ලීමේ බලය හිමි විය. ඡන්දය සළකුණු කිරීම සඳහා ද හැකියාව ලැබුණේ සිටින ඡන්ද දායකයන් පිරිසකට පමණි. එසේ ඡන්දය ලබා දීමට පහත සඳහන් සුදුසුකම් තිබිය යුතු විය.

    1. අවුරුදු 21 සපුරා තිබීම.
    2. ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ ලියන්නට හා කියවන්නට හැකියාව.
    3. වසරකට රුපියල් 600 කට නොඅඩු ආදායම් ලබන්නෙකු වීම.

    එසේ නොමැතිනම් රුපියල් 1500 කට නොඅඩු වටිනාකමක් ඇති නිශ්චල දේපළක හිමිකරු වීම. එමෙන්ම ඔහු පදිංචිව සිටින්නේ ගමක නම් පදිංචිව සිටින නිවස රුපියල් 200 කට නොඅඩු වටිනාකමකින් යුක්ත වීම. නගරයක නම් රුපියල් 400 කට නොඅඩු වටිනා කමක් තිබීම. තවද මෙම මැතිවරණයේ විශේෂයක් වූයේ කාන්තාවටද ඡන්ද අපේක්ෂකත්වයද ඡන්ද බලයද හිමි නොවීමයි.

    1927 නොවැම්බර් 13 වෙනිදා මෙරටට පැමිණි ඩොනමෝර් කොමිසම මගින් කළ විමර්ශනයකින් පසුව ව්‍යවස්ථාදායක සභාව අහෝසි වී රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය හිමි විය. ඒ අනුව ලක්වැසි ජනතාවගෙන් වයස අවුරුදු 21 ඉක්ම වූ ගැහැණු හා පිරිමි දෙපක්ෂයටම ඡන්ද බලය හිමි විය. ඒ අනුව මන්ත්‍රී කොට්ඨාස 50 ක් සඳහා නියෝජිතයන් පත් කර ගැනීමේ මැතිවරණය 1931 ජුනි මාසයේදී පැවැත්විනි. ප්‍රථම මන්ත්‍රීන්ගේ රැස්වීම 1931 ජූලි මස 07 වෙනි දින පැවැත්විණි. දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය 1936 පැවැති අතර එය 1947 ජූලි 04 වෙනිදා දක්වා පැවැත්විණි. එයට හේතුව වූයේ දෙවන ලෝක යුද්ධය නිසා ඡන්දය නොපැවැත්වීමය.

    1943 මැයි 28 වෙනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ප්‍රකාශයක් කළ ආණ්ඩුකාරවරයා ලංකාවට තවත් පුළුල් බලතල සහිත ආණ්ඩු ප්‍රතිසංස්කරණයක් හඳුන්වාදෙන බව පැවසූහ. මේ අනුව සෝල්බරි සාමි ප්‍රමුඛ පිරිස පැමිණ ආරම්භ කළ කොමිසම “සෝල්බරි කොමිසම” ලෙස ප්‍රසිද්ධියට පත් විය.

    ඒ අනුව සෝල්බරි සාමිවරයා විසින් ඉදිරිපත් කළ සෝල්බරි කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 1945 ජූලි මස 11 වෙනි දින ඉදිරිපත් කළහ. ඒ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව 1947 ජූලි මස 01 වෙනි දින අවසන් වරට රැස්විය. එයින් පසුව 1947 නොවැම්බර් මස 25 වෙනි දින රැස්වූයේ ලංකාව් ප්‍රථම පාර්ලිමේන්තුවය. රටට හඳුන්වා දුන් සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ දේශපාලන පක්ෂ ක්‍රමයද, කැබිනට් මණ්ඩලයක්ද, සෙනෙට් සභාවක්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රමයක්ද හිමි විය.

    1947 ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම ඇඹීමට දින හතරකට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් ලංකාවට නිදහස ලබා දීමේ “නිදහස් පනත” සම්මත කරගෙන තිබුණි. එයට රාජකීය අනුමැතිය ලැබුණේ 1947 දෙසැම්බර් 10 වෙනිදාය. ලංකාවේ ආණ්ඩුව මගින් එය මැති සබයට ඉදිරිපත් කර අනුමත කරගෙන තිබුණි. මේ නිසා 1948 පෙබරවාරි මස 04 වෙනි දින ලංකාවට නිදහස හිමි විය.

    නිදහස් ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූ එක්සත් ජාතික පක්ෂයේ නායක අතිගරු ඩී.ඇස්.සේනානායක මැතිතුමා එදින සිට ජනතාව විසින් “ජාතියේ පියා” යන විරුදාවලියෙන් පිදූ අතර ඔහු 1947 සිට 1952 මාර්තු 22 වනදා මියයන තෙක් මෙරට අගමැති ධූරය හෙබවීය.

    නිදහස් ලංකාවේ ප්‍රථම රජයේ තමා හොබවමින් සිටි සභා නායක පදවියෙන්ද සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1951 ජූලි 12 වන දින විපක්ෂයේ අසුන් ගත්හ. ඔහු නව දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන 1952 මහ මැතිවරණයට තරඟ කළද දිනාගත හැකිවූයේ මන්ත්‍රී පදවි නවයක් පමණි. නමුත් 1956 පැවති හදිසි මහ මැතිවරණයට පෙරමුණක් සෑදී තරඟ කර ආණ්ඩු බලය ලබාගත් බණ්ඩාරනායක මහතා ලංකාව ජන රජයක් බවට පත් කිරීම සදහා ආණ්ඩු ක්‍රම සංශෝධනයකට පියවර ගත්තේ පාර්ලිමේන්තුවේ සහ සෙනෙට් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමෙනි. මෙම කමිටුව 1958 වසරේ නොවැම්බර් 07 වෙනි දින ප්‍රකාශයට පත් කළද, ඊට වසරකට අඩු කාලයකදී බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත වීම මෙම ගමනට වැදුන බලවත් පහරක් විය.

    1960 ජූලි මහ මැතිවරණයෙන් ජයගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයේ රාජායන කතාව ඉදිරිපත් කළ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් විලියම් ගොපල්ලව මහතාද එම කතාවේදී ලංකාව ජන රජයක් බවට පත්කරන බව සඳහන් කරන්නට යෙදුණි. නමුත් මැතිවරණයට එය සිදුකිරීමට නොහැකිවූයේ ඒ සදහා අවශ්‍ය ජන වරම නොතිබුණි හෙයිනි.

    1970 මැයි 27 වෙනි දින බලයට පැමිණි සිරිමා මැතිණිය නායකත්වය දුන් සමඟි පෙරමුණ රජය ආණ්ඩුක්‍රම වෙනසක් සදහා අවශ්‍ය කටයුතු සැකසීමට ඇමතිවරයෙක්ද නම් කළේය. ඇමතිවරයා වූයේ නීති විශාරදයෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාය. මෙලෙස ආණ්ඩුක්‍රම වෙනසක් සදහා එම රජයට 2/3 ක බලයක් පාර්ලිමේන්තුව සතුවිය. මේ අනුව 1970 වසරේ ජූලි මස 19 වෙනි දින කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලට පැමිණෙන ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුනට ඇරයුම් කළේ නව ආණ්ඩු ක්‍රමයක් සම්පාදනය කිරීමේ මූලික පියවර වශයෙනි. මෙදින රැස්වූ සියලුම මන්ත්‍රීවරුන් ඇතුලත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවාගත් අතර එහි නායකයා ලෙස ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ඇමතිවරයා පත්කර ගත්හ. දෙවනුව මෙම මණ්ඩලය රැස්වූයේ එයින් දින දහයකට පසු ජූලි 29 වෙනිදාය.

    1970 ජූලි මස 22 දා මැති සබය ඇමතූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා මෙසේ පවසා ඇත.” අපි මෙම පියවරෙන් බලාපොරොත්තු වන්නේ ඉංග්‍රීසි ආණ්ඩු කිරීටයත් සමඟ තිබෙන සම්බන්ධකම් වලින් තොරව නිදහස් ස්වෛරී ආණ්ඩු ක්‍රමයක් අපේ රටට ඇතිකර ගැනීමටයි. මෙම අවුරුද්ද අවසාන වීමට ප්‍රථමයෙන් නිදහස් ස්වෛරී රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අපට පිළිගැනීමට හැකිවන ව්‍යවස්ථා පද්ධතියක් සකස් කර අවසාන කර ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. අප නිදහස් ස්වෛරී ජාතියක් බව ලොවට ඔප්පුකර පෙන්වනවා.” යනුවෙනි.

    මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ආරම්භ කළ දිනයේ සිට අවසන්වන තුරු දින 35 ක් රැස්වී ජනතානගෙන්ද විවිධ සමිති, සංවිධානවලින්ද ලැබුණු යෝජනා හා අදහස් විමර්ෂනය කිරිම සිදු කළහ. මේ සදහා කාරක සභාවක්ද විය. එය සැදුම් ලැබුවේ අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක , ව්‍යවස්ථා සම්පාදක ඇමති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පාර්ලිමේන්තුවේ සභා නායක මෛත්‍රීපාල සේනානායක, විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන, අධ්‍යාපන ඇමති බදියුදීන් මොහම්මද්, පළාත් පාලන ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, වෙළඳ ඇමති ටී.බී. ඉලංගරත්න, නිවාස ඇමති පීටර් කෝනමන්, ඉඩම් ඇමති හෙක්ටර් කොබ්බෑකඩුව, මුදල් ඇමති ආචාර්ය ඇන් එම්. පෙරේරා, ධීවර ඇමති ජෝර්ජ් රාජපක්ෂ, සමාජ සේවා ඇමති ටී.බී. සුභසිංහ, සංස්කෘතික ඇමති ටී.බී. තෙන්නකෝන්,යාපනය මන්ත්‍රී ඩී. ඇක්ස් මාටින්ස්, දැදිගම මන්ත්‍රී ඩඩ්ලි සේනානායක, කන්කසන්තුරේ මන්ත්‍රී එස්.ජේ.වී.ඒ. සෙල්වනායගම් යන මහත්වරුන්ගෙනි.

    මෙහිදී ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වශයෙන් හැදින්වීමට යෝජනා කළද එය කමිටුව පිළිගත්තේ නැත. ඔවුන්ගේ යෝජනාව වූයේ ශ්‍රී ලංකා ජනරජය යන්නයි. මේ අනුව 1971 ජූලි 10 වෙනි දින නව ආණ්ඩුක්‍රමය නිර්මාණය කර අවසන් වූ හෙයින් එය ආන්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයෙන් අනුමත විය. මේ අනුව මැති සබයට ඉදිරිපත් කළ ජනරජ පනත 2/3 ක ඡන්දයෙන් අනුමත වූ හෙයින් එතෙක් තිබූ සෝල්බරි ආණ්ඩු ක්‍රමය අවසන් කරමින් ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මීට වසර 50 කට අද වන් දිනයක 1972 මැයි 22 වෙනි දින සිට ක්‍රියාත්මක වන්නට විය. ඒ අනුව එතෙක් “සිලෝන්” ලෙස විදේශයන් හැදින්වූ අපේ රට “ශ්‍රී ලංකා” ලෙස හැදින්වීම ආරම්භ විය. රටේ නායකයා ලෙස ජනාධිපති තනතුර පත්විය. දැනට අප භාවිතා කරන රාජ්‍ය ලාංඡනය ව්‍යවහාරයට ගත්තේ එදින සිටය. ආණ්ඩුකාරවරයා විසින් නම් කර එවනු ලබන මන්ත්‍රී ක්‍රමය අහෝසි වූ අතර සෙනෙට් සභාවද අහෝසි විම ස්ථීර විය.

    එදා පාර්ලිමේන්තුව ලෙස හැදින්වූ මැති සබය ජාතික රාජ්‍ය සභාව ලෙසත්, මන්ත්‍රීවරුන් ජාතික රාජ්‍ය සභා නියෝජිත ලෙසද වෙනස් විය. මෙහිදී සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ රජයේ පාලන කාලය සත් වසරකට දීර්ඝ වීමය. 1970 මැයි 27 වෙනි දින පැවති මහා මැතිවරණයෙන් පසු ඊළඟ මහා මැතිවරණය පැවැත්විමට නියමිතව තිබුණේ 1975 වසරේදීය. කාලය දීර්ඝ කළ හෙයින් නව රජයේ පාලන කාලය 1977 දක්වා දීර්ඝ විය.

    1972 ට පෙර ලංකාවේ අධිකරණයෙන් දෙන තීන්දුවක් පිළිබදව සෑහීමකට පත් නොවන්නේ නම් එය බ්‍රිතාන්‍ය අධිකරණය තෙක් ගෙන යා හැකි විය. එය අහෝසි වී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය උත්තරීතර අධිකරණය ලෙස පිළිගත්තේය. මන්ත්‍රීවරුනට විශ්‍රාම වැටුප් ගෙවීමද මෙම ආණ්ඩු ක්‍රමයට අදාළ විය. අගමැතිවරයා විසින් ජනාධිපති පත්කිරිමට බලය ලැබුණු අතර ජනාධිපති විසින් අගමැති පත්කිරීමද විශේෂත්වයකි. ලංකාව ජන රජයක් බවට පත්වූ පසු 1973 වසරේ සිට 1977 දක්වා සිව් වසරක් ලංකාවේ පෙර පැවති නිදහස් දින නිවාඩුව අහෝසි කර නිදහස සැමරීම අත් හළේය. ඒ වෙනුවට සිදුකළේ මැයි 22 ජන රජ දිනය ලෙස නිවාඩු දී උත්සව සිදුකිරිමය. ලංකාවේ රාජ්‍ය ආගම ලෙස බුද්ධාගම පිළිගෙන කටයුතු කිරිම මෙම ව්‍යවස්ථාවෙන් සිදුවූ සුවිශේෂි සිදුවීමකි.

    1978 පෙබරවාරි 04 වෙනි දින සිට සම්මත වූ විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය නිසා 1972 සිට 1978 පෙබරවාරි 03 වෙනි දින මෙරට ක්‍රියාත්මක වූ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වී වත්මන් ආණ්ඩු ක්‍රමය බිහිවිය. 1972 ජනරජ ආණ්ඩුක්‍රමය සම්මත කරන විට එයට ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ගෙන් වර්තමානයේ මැති සබය නියෝජනය කරනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පමණි. මැති සබයට නොපැමිණියත් ඡන්දය පාවිච්චි කරන ලද අයගෙන් මා දන්නා තරමට පිටත සිටින්නේ රොනී ද මැල් මහතා පමණක්ය යන්න මගේ අදහසයි.

    හිටපු අමාත්‍ය
    වජිර අබේවර්ධන,
    සභාපති- එක්සත් ජාතික පක්ෂය,

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. ශ්‍රී ලංකා ජාතික ධජයේ බෝපත් 4 එකතු වී වසර 50 . නිර්මාණ සංකල්පය මාපලගම විපුලසාර හිමි. චිත්‍ර සැලසුම එස්. පී. චාර්ල්ස්. මේ සිද්ධිය අංක 1 විය යුතුය. අංක 2. ජනරජ ලාංඡනයයි.

    ඔබේ අදහස් දක්වන්න.