fbpx
තවත්
    මුල් පිටුවspecialවෙස් මුහුණු ලූ අරගලය.. |සංවාදයට විවෘතයි|

    වෙස් මුහුණු ලූ අරගලය.. |සංවාදයට විවෘතයි|

    සටහන – විමංසා ලංකාප්‍රේම

    මැයි නව වෙනිදා “සාමකාමී” සහ “නිර්පාක්ෂික” ජනතා අරගලය වෙත ” දේශපාලන මැර කණ්ඩායම්” විසින් පහර දීමත්, ඉන්පසුව ඇතිවූ ඛේදනීය තත්ත්වයත් අප සැම මැනවින් අත් වින්දෙමු.

    රටම වැනසීමට සමාජ මාධ්‍ය හරහා වේගවත්ව සංවිධානය වූ තවත් “මැර කණ්ඩායම්” විසින් ඒ කටයුත්ත සිදු කළහ. අවසානයේ දී රාජ්‍ය දේපල සැලකිවයුතු ප්‍රමාණයක් දැවී අළු වී යාමට ගතවූයේද ඉතාමත්ම කෙටි කාලයකි. එමෙන්ම පෞද්ගලික දේපල සහ ආයතනය මංකොල්ලකෑම් දක්නට ලැබුණි. ද්වේශ සහගත පලිගැනීම් ද රටතුළ සිදු විය. අමානුෂික ඝාතන වාර්තා විය.

    සත්‍ය වශයෙන්ම අහිංසාවාදී අරගලකරුවන් මේ සියලු සිදුවීම හෙළා දකිමින් කථා කළහ. තම “සාමකාමී අරගලය” නම් දෙවූ කිරි කලයට ගොම දැමූ නරුමයන් පිළිබඳව හඬ අවදි කළහ.

    අවසානයේ මහ බැංකු අධිපතිවරයා තම දැඩි ප්‍රකාශය දැක්වීමෙන් අනතුරුව සියල්ල යථා තත්ත්වය කරා කෙමෙන් රට ගමන් කරන සේයාවක් පෙණුනි.

    අරගලය සාමකාමී ද?

    සාමකාමී අරගලය ලෙස ගෝල්ෆේස් පිටියේ අරගලයක් අරඹා තිබීමත්, එහි පෙනෙන අරමුණත් වෙස්මුහුණක් ලෙස මධ්‍යස්ථ මතධාරීහූ පවසති. එහි සත්‍ය වශයෙන්ම නිර්පාක්ෂික බවක් නොමැති බව ඔවුන් පුනපුනා ප්‍රකාශ කරති.

    එනමුදු, ජනතාව හට සාමකාමීව අරගල කිරීමේ අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද තහවුරු කර ඇත. ගාන්ධි පන්නයේ සාමකාමී අරගලය, අරාබි වසන්ත පන්නයේ අරගලයට සාපේක්ෂව අගනේය. ජනතාව සත්‍ය වශයෙන්ම සාමකාමීව අරගල කළ යුතුය. රජය ද එය ඉවසා දරා ගත යුතුය. එය ජනතා පරමාධිපත්‍යයේ කොටසකි.

    අරගලය නිර්පාක්ෂික විය යුතුද?

    නැත. කිසිසේත්ම නිර්පාක්ෂික වීම අවශ්‍යතාවයක් නොවේ. ජනතාව තම දේශපාලන මතිමතාන්තර හදවතෙහි සඟවාගෙන එකමුතුව එක් නිශ්චිත අරමුණක් සහිතව අරගල කිරීම කිසිදු වරදක් නැත.

    පවතින අරගලයේ අරමුණ යථාර්ථයක් ද?

    මෙහි සිදු වූයේද, සිදු වන්නේ ද, කෙසේ හෝ රාජ්‍ය බල හුවමාරුව තම පිල වෙත ලඟාකර ගැනීමේ දේශපාලන අරමුණක් සහිත කණ්ඩායමක්, ජනතා පීඩාව සහ ප්‍රශ්න දඩමීමා කරගෙන, තම “සැඟවුන න්‍යාය පත්‍ර” ක්‍රියාත්මක කිරීමක්ම පමණි. පවතින අරගලය මහ පොළොවේ පවතින යථාර්ථයක් නොවේ යැයි සමහරු පවසන්නේ ඒ නිසාය.

    අවසානයේදී අරගලය ඇරඹූ දේශපාලන නායකත්වය රටේ නායකත්වය “ගතයුතු අවස්ථාවේ දී කර ඇරි” බව එක් මන්ත්‍රී ධුරයක් ඇති රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වීමෙන් ප්‍රත්‍යක්ෂ වේ.

    අරගලයේ මුඛ්‍ය අරමුණ ලෙස ලෝකයට පෙන්වූ “ගෝඨාගෝහෝම්” යන්න හෑෂ් ටැග් ව්‍යාපාරයෙන් ඇරඹි මෙම අරගල ව්‍යාපාරයේ “සාමකාමී සහ නිර්පාක්ෂික” සළු පිළි ගලවා නිරුවත් කිරීමට අරගල න්‍යායාචාරීන් අද වනවිට කටයුතු කරමින් සිටියි.

    කොවිඩ් 19 අර්බුදය, ‍රජය විසින් නිවැරැදි ආර්ථික කළමනාකරණය නොකිරීම, නිසි තීන්දු තීරණ නිසි කල නොගැනීම වැනි “මරණීය වරද සමුදායක්” සිදුකිරීමේ වරදින් “ඔත්පලව ගහෙන් වැටුන” ලංකාව “අරගල ගොනා ඇනීමෙන්” පසු තම අපේක්ෂා මස්තකප්‍රාප්ත කරගැනීමේ කුරිරු චේතනා සහිත කණ්ඩායම් මේ සමස්ත ක්‍රියාදාමය පසුපස සිටියි. ඔවුන්ගේ දේශපාලන භාවිතය, මළමිනී ගණන සහ දේපල හානි මතින් සිදු වන්නක් බව මහජනයෝ දනිති. එහෙත්, ඒ බැව් හඬ නැගීමට නොහැකි ව සිටිති.
    මෙලෙස පටු පරමාර්ථවාදියෝ දේශීයව සහ විදේශීයව තම අරමුණු වෙනුවෙන් පෙනී සිටිති. ඔවුන්ගේ “මස් රාත්තල” ගැනීමට නම් ලංකාව තවත් අගාධයකට යා යුතුය. එතෙක් ඔවුන් කල් මරමින් සිටියි.

    විරුද්ධ මතධාරීන් තුරන් කිරීමේ වැඩ පිළිවෙල ගෝල්ෆේස් අරගලය, ගෝල්ෆේස් ප්‍රහාරය, සහ ප්‍රතිප්‍රහාරය තුළ සැඟව ඇත. මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටකට නොහොඹී. මෙය එක තිර නාටකයකි. මහජනයා වරෙක එහි රංගන ශිල්පීන් මෙන්ම, තවත් වරෙක ප්‍රේක්ෂකයෝද වී ඇත. වරෙක පීඩකයෝද, තව වරෙක පීඩිතයෝ ලෙස ජනතාව මෙහෙය වන දක්ෂ තිර රචකයෙක් මෙම නාටකය තුළ සිටී. පාලකයාද, පාලිතයාද “අවස්ථාවේ වින්දිතයෙකු” (Victim of the circumstances” වී ඇත. මේ මොහොතේ එළඹගත් සිහියෙන් යුතුව සිටින මහජනයා මෙම නාටකයේ අලගිය මුලගිය තැන් හොඳින් දනී.

    නීතියේ ආධිපත්‍යය සහ නීතඥයින්ගේ ආධිපත්‍යය

    නීතියේ ආධිපත්‍යය සහ එහි වටිනාකම අප සැම මනාව දන්නා දෙයක් මෙන්ම වියයුත්තේද එයයි. නූල් බෝලයක් ලෙස පැටලුන අතිශය සංකීර්ණ නීතිමය රාමුවක් සහිත ශ්‍රීලංකාවේ සත්‍යමය ආධිපත්‍යය තිබෙන්නේ නීතීඥයින්ගේය. නඩුවක පැටලුන අහිංසක පුරවැසියන් එහි සැබෑ තතු මනාව දනී. එදා මෙදා රට පාලනය කළ බහුතරයක් වූ දේශපාලන “කපටි ආරක්ෂකයින්” නීතීඥයින්ය. ඔවුන් නීතියේ සිදුරු දැක එය නොවසා සිටින්නේ ඔවුන්ගේ සුඛ විහරනයන්‍ටමය.

    මේ මොහොතේ නීතීඥයින් හැසිරෙන්නේ ද “කපටි ආරක්ෂකයින්” ලෙසටමය. එය වටහා ගැනීම ප්‍රඥාගෝචරය.

    පාලකයින් නිවැරැදි ද?

    එදා මෙදා තුළ ලංකාව පාලනය කළ සියලුම පාලකයින්ද අද තත්ත්වය සඳහා වගකිව යුතුමය. නිවැරැදි නිර්පාක්ෂික අරගලයකින් විසඳාගත යුත්තේ එයයි. අරමුණක් රහිතව, ප්‍රායෝගික නොවන සටන්පාඨ මගින් කිසිවක් කළ නොහැක. සිදුවන්නේ තිරනාටක රචකයෙක්ගේ නාට්‍යයක සැවොම රඟපෑමයි.

    අහිංසාවාදයත් බියගුළු කමක්ද?

    ලෝක ධර්මතා අනුව, අහිංසක අරගලය ඉතාමත් වටිනා සංකල්පයකි. එමගින් ජයගත් අරගල ලොව පුරා ඇත. සියලු ආගම් එය අනුදැන වදාරති. එහෙත් එය නාමමාත්‍රික නොවිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද හමුවේ සාමකාමීව අරගල කිරීමේ අයිතිය රජය පිලිගෙන ඇත. මෙම පාලන සමයේ සමහර අරගල ඇරඹෙද්දී, අරගල කරුවන් විසින් පොලිස් නිළධාරීන් සහ හමුදා නිළධාරීන් හට පීඩා කරද්දී නිසි ක්‍රියාමාර්ග නොගැනීම වරදකි. මෙනිසා ආරක්ෂක අංශ හෑල්ලුවට ලක්වීම කණගාටුවට කරුණකි. එමෙන්ම සාමකාමී නාමධාරී ගෝල්ෆේස් අරගලය වෙත එල්ලකල මැර ප්‍රහාර, විපක්ෂ නායකයා වෙත එල්ලකල ප්‍රහාර ඉතාමත්ම වැරදි සහගතය. ඉන්පසුව රට තුළ ක්ෂණිකව ඇතිකළ භීෂණයද ඉතාමත්ම වරදකි. මේ සියල්ල එක තිරනාටකයක කොටස් වන බව ප්‍රත්‍යක්ෂ වී ඇත. මෙම නාටකය අධ්‍යක්ෂණය කරනු ලද්දේ “මිණී මතින් බලය පතන” කුප්‍රකට දේශපාලන නාට්‍ය අධ්‍යක්ෂවරයා සහ ඔහුගේ වහල් පිරිවරයි.

    අරගලයේ ඉදිරි ගමන

    සාමකාමී අරගලය සාමකාමීව පවත්වා ගත යුතුය. එය නිර්පාක්ෂික නොවූවාට කම් නැත. එහෙත්, නිවැරැදි ප්‍රායෝගික අරමුණක් සහිතව ඉදිරියට යා යුතුය. එමගින්, මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ ආර්ථිකයට සහ ශ්‍රී ලංකා නාමයට, හානියක් නොවනසේ සාමකාමීව අරගලය කළ යුතුය. රජය එයට සහාය දිය යුතුය. අරගලය විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමට හෝ රාජ්‍ය දේපල වැනසීමට යොදා නොගත යුතුය. නිසි ආර්ථික කළමනාකරණයක් හරහා රට අගාධයෙන් ගොඩ ගැනීම රට කරවන්නන්ගේ වගකීම වේ. එයට සහාය දීම ජනතාවගේ යුතුකම වේ.

    |සංවාදයට විවෘතයි|

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.