fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"එක කොන්දේසියයි.. ඕන අභියෝගයක් බාරගන්නවා" - සජිත්

    “එක කොන්දේසියයි.. ඕන අභියෝගයක් බාරගන්නවා” – සජිත්

    විසි එක් වෙනි සංශෝධනය ක්‍රියාත්මක වීම මත පදනම්ව ඕනෑම අභියෝගයක් බාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මේ මොහොතේ වැදගත් වන්නේ ඔටුනු හෝ තනතුරු පළඳවා ගැනීමට නොව, සමාජ හා ජාතික වගකීම ඉටුකිරීම බවත් ඒ වෙනුවෙන් කළ හැකි සියලු කැපකිරීම් කිරීමට තමන් සූදානම් බවත් ඒ මහතා කියාසිටියේ අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවීමෙන් අනතුරුව ය.

    මේ රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති මේ මොහොතේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය රට ගොඩනැගීම වෙනුවෙන් තිරසාරව පෙනී සිටින බවත් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට දෙවරක් නොසිතන බවත් හෙතෙම කීය.

    සමගි ජන බලවේගය සහ සමග ජන සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ විසි එක් වෙනි සංශෝධනය ප්‍රකාරව විධායක ජනාධිපති ධූරය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා වගකීම සහ වගවීම හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය පාලනයක් ගොඩනැඟිය යුතු බවද පැවසීය.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කොට ඇති යෝජනාවලියත්, සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කොට ඇති විසි එක් වැනි සංශෝධනයත් අතර විශාල පරස්පරතාවයක් නැති බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ යෝජනා පදනම් කරගනිමින් ප්‍රගතිශීලී ඉදිරි පියවර බව රැසක් ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

    පවත්නා අර්බුදයට ප්‍රමුඛතම හේතුව වන්නේ ඒකාධිපති විධායක ජනාධිපති ධූරය බව පැවසූ විපක්ෂ නායකවරයාඑය වහාම අහෝසි කළ යුතු බවද පැවසීය.

    සත්කාරක පාර්ශවයක් ලෙස මේ කටයුත්තට මැදිහත් වන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා රටට ප්‍රජාතන්ත්‍රවාදය අත්කර දීම වෙනුවෙන් සමගි ජන බලවේගය තබන ප්‍රගතිශීලී වෑයමට සහයෝගය ලබා ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.