fbpx
තවත්
    මුල් පිටුවspecialඅරගලයේ දරුවන්‌ වෙත යෝජනාවක්‌..

    අරගලයේ දරුවන්‌ වෙත යෝජනාවක්‌..

    නිදහසින්‌ පසු අප දන්නා කාල පාරාසය තුළ නිර්දේශපාලනික ව්‍යාපාරයක්‌ ලෙස ඔබ බොහෝ සාධනීය ජයග්‍රහණ රැසක්‌ අත්පත්‌ කරගෙන ඇති බව සුපැහැදිලිය. අප දන්නා 1971, 1983, 1989 ආදී වර්ෂවල ඇති වූ විනාශකාරි කිසිදු සිදුවීමක්‌ මෙවර අසන්නට නොලැබීම ජාතියේ වාසනාවකි.
    ස්වයං විනයක්‌ සහිත සෞන්දර්යාත්මක කාලාත්මක විරෝධතා ව්‍යාපාරයක්‌ ලෙස විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පවා පැසසුමට ලක්වී ඇත.

    එහෙත්‌ මෙම සත්ව්‍යාපාරයට බුද්ධිමත්‌ හෝ න්‍යායාත්මක හෝ නායකත්වයක්‌ නොලැබීම අඩුවක්‌ සේ මම දකිමි. ඔබගේ ප්‍රධාන උද්ධෘත පාඨය වුවද වාච්‍යාර්ථයෙන්‌ අර්ථ ශූන්‍යයයි. එහි නිශ්චිත කාල පරාසයක්‌ හෝ ඉන්පසු සිදුවිය හැකි හෝ කළයුතු කාර්ය භාරයක්‌ පිළිබඳ නිශ්චය අදහසක්‌ නැත. නිදසුනක්‌ ලෙස ඔබගේ සටන්‌ පාඨයට අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධූරයෙන්‌ ඉල්ලා අස්වුවහොත්‌ අනුප්‍රාප්තිකයා ලෙස අගමැති හෝ කථානායක හෝ පත්වනු ඇත. 225 ම ගෙදර යවමු යන අදහස අනුව 225 ම ඉවත්වුවහොත්‌ තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන්‌ මැතිවරණ කොමිසම නව
    පත්වීම්‌ කරනු ඇත. ඒ අනුව මේ අර්බුදයෙන්‌ ගොඩවීමට සිදුවන්නේ ව්‍යවස්ථානූකූලව පමණි. දැන්‌ 19 වන සංශෝධනයේ සාධනීය ලක්‍ෂණ කැටි කරගත්‌ 21 වන සංශෝධනය පාර්ලිමේන්තුව මගින්‌ සම්මත කරගත හොත්‌ විධායක ජනපති ධූරයේ බලතල කප්පාදුවනු ඇත. එයත්‌ නව සාධනීය
    ව්‍යවස්ථාමය පියවරකි.

    ඒ අතර වාරයේ කාගෙත්‌ පිළිගැනීමට ලක්ව තිබෙන අන්තර්වාර පාලනයක්‌ සඳහා ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. මගේ යොජනාව නම්‌ වසරකට සීමා වන පරිදි අන්තර්පාලනයක්‌ ඇති කොට නීතිමය රාමුවක්‌ සහිතව අගමැතිව ඉල්ලා අස්වන්නට සලස්වා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්‍ෂවල (වැඩි ප්‍රමාණයක) සහභාගිත්වයෙන්‌ තාවකාලික අමාත්‍ය මණ්ඩලයක්‌ (20 නොඉක්මවන) පත්‌ කරගෙන පාර්ලිමේන්තුවේ ඇති කාරකසභා පනගන්වා එහි ප්‍රධානියා ඇමතිවරයා ලෙස සියළු පක්‍ෂවල සහභාගිත්වයෙන්‌ කලින්‌ එකඟවූ ප්‍රමුඛතා ලේඛනය අනුව වසරක කාලය තුල්දී රටේ මහජනතාවට අවශ්‍යවන ඔෟෂධ, ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, ජලය, විදුලිය, ගැස්‌ ආදිය සම්පාදනය කිරීමට මුල්තැන දෙමින්‌ අපනයන ආදායම වැඩිකර ගැනීමට මූලික අවධානය යොමු කළ යුතුවේ. මැතිඇමතිවරුන්ට වරප්‍රසාද ලබා නොදී මහජන සේවයක්‌ ලෙස එය පවත්වාගෙන

    යායුතු අතර රාජකාරී කටයුතු සඳහා ප්‍රවාහන පහසුකම්‌ සීමාවකින්‌ යුතුව සැපයිය යුතුය. පාරදෘෂ්‍යභාවයෙන්‌ කටයුතු කරන විට විදේශ ප්‍රේෂණ නැවත වරක්‌ බැංකු හරහා ලබා ගැනීමට විදේශ ශ්‍රමිකයන්‌ දිරිමත්‌ කරමින්‌ ඩොලරය ස්ථායීව පවත්වාගෙන යාමට ක්‍රියා කළයුතුය. වර්ෂාවසානය වනවිට මහමැතිවරණයකට කටයුතු සූදානම්‌ කිරීම ද එම අන්තර්වාර පාලනයේ ප්‍රමුඛ
    වගකීමක්‌ වේ.

    මේ සියළු කටයුතු අධික්‍ෂණය සඳහා හිටපු විගණකාධිපතිවරුන්, පිළිගත්‌ වෘත්තිකයන්‌, වෘත්තීය සමිති නියෝජිතයන්‌, අරගලයේ නියෝපිතයන්‌ ආදීන්ගෙන්‌ සැදුම්‌ ලත්‌ ඉහළ අධික්‍ෂණ මණ්ඩලයක්‌ පත්‌ කළ යුතුවේ. තාවකාලික අගමැති ලෙස නම්‌ තුනක්‌ සහ තාවකාලික ඇමතිවරුන්‌ වශයෙන්‌
    සුදුසු නම්‌ ද අරගලයේ දරුවන්ට යොජනා කළ හැකිය.

    ජනාධිපතිවරයාගේ බලතල 21 වන සංශෝධනයෙන්‌ කපා හැරෙන විට ඔහුට නිශේධ බලයක්‌ හිමි නොවේ. මෙම අන්තර්වාර පාලනයට ජනපති අකුල්‌ හෙලන්නේ නම්‌ ඔහුගේ වැය ශීර්ෂය කප්පාදුකොට බලය සීමා කළ හැකිය. ඊටත්‌ අවනත නොවන්නේ නම්‌ බහුතරයකගේ විශ්වාසභංගයක්‌ හෝ දෝෂාභියෝගයකින්‌ හෝ ජනපති ධූරයෙන්‌ පහකොට පාර්ලිමෙන්තුවෙන්‌ සුදුස්සකු පත්‌ කර ගත හැකිය. මේ සියල්ල පැය 24 න්‌ කළ හැකි දේ නොවේ. මේ යොජනාව හෝ මීට සමාන වෙනත්‌ යොජනා පිළිබඳව ව්‍යවස්ථා නීති විශාරදයන්ගේ අවවාද මග පෙන්වීම්‌ ලබා ඉක්මන්‌ ක්‍රියාමාර්ගයක්‌ ගැනීම රටට ද ඔබට ද සෙත සැලසෙනු ඇතැයි මම උදක්ම විශ්වාස කරමි.

    පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ම ගෙදර යැවිය යුතු බව කීවත්‌ ඒ අතර මහත්වරුන්‌ ද
    සිටින බව අමතක කළයුතු නොවේ.

    මෙයට
    අකුරටියේ නන්ද නාහිමි
    [email protected]

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.