fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙවර මැයි දිනය 'කළු මැයි දිනයක්' - විපක්ෂ නායක

    මෙවර මැයි දිනය ‘කළු මැයි දිනයක්’ – විපක්ෂ නායක

    මෙවර මැයි දිනය “කළු මැයි දිනයක්” ලෙස සමරන්නට අපේ රටේ වැඩකරන ජනතාවට සිදුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මැයි දින පණිවිඩය නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව පැවැසීය.

    විපක්ෂ නායක, සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා මැයි දිනය වෙනුවෙන් නිකුත් කරන ලද පණිවිඩය පහත දැක්වේ.

    අරාජික රටක සමරන අවසාන මැයි දිනය වේවා, වැඩකරන ජනතාව දිනේවා!

    නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදකාරීම සහ ඛේදජනකම කම්කරු දිනය උදාවී තිබේ.

    වර්තමාන අදූරදර්ශී ආණ්ඩුව ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට බංකොලොත් භාවයේ දොරටුවට අපේ රට තල්ලු කරගෙන ගොස් තිබේ. දුර්දාන්ත පාලනයක නොහැකියාව, අසමත්කම, හිතුවක්කාරී අත්තනෝමතික ක්‍රියාකාරිත්වය හා උද්දච්ඡකම හේතුකොටගෙන අපේ රටත් මතු පරම්පරාවත් පෙර නොවූ විරූ තරම් අභියෝගාත්මක ඉරනමක් වෙත තල්ලු වී තිබේ.

    එවන් තත්ත්වයක් තුළ මෙවර මැයි දිනය “කළු මැයි දිනයක්” ලෙස සමරන්නට අපේ රටේ වැඩකරන ජනතාවට සිදුවී තිබේ.

    වැඩකරන ජනතාව ජීවිත, ලේ, දහඩිය, පරිත්‍යාග කරමින් දගු කලක් තිස්සේ නොනැවතී ජයග‍්‍රහණය තෙක් පෙරට ගෙන ගිය කටුක අරගලයේ ඉතිහාසය ස්මරණය කරන සංකේතාත්මක දිනය කම්කරු දිනයයි. එහෙත් මේවන විට අපේ රටේ වර්තමාන පාලනය විසින් වැඩකරන ජනයා අතීතයේදී දිනාගත් අයිතීන් පවා අහිමි කෙරෙමින් තිබේ.

    බලයට පත්වී මෙතරම් කෙටි කලක් තුළ රටේ ජනතාවගේ සමස්ත බලාපොරොත්තු සුනු විසුනු කළ ආණ්ඩුවක් මින් පෙර ඉතිහාසයේ අපට හමු වී නැත.රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවගේ සියලු බලාපොරොත්තු ආණ්ඩුව විසින් මංකොල්ල කනු ලැබ තිබේ. එදා වේල පිරිමසා ගන්නට කුලී වැඩ කළ ජනතාවට පවා මහපාර උරුම වී තිබේ.

    සෞඛ්‍ය, ගොවි, ධීවර, වතු, ප්‍රවාහන, ඇතුලුකොට සමස්ත කම්කරු ප්‍රජාව බලවත් පීඩාවක් රැසකට මුහුණ දී සිටී. ජීවිතය පරදුවට තබා ස්වකීය මෙහෙවර ඉටු කරන අත්‍යාවශ්‍ය සේවාවන්හී පිරිස් පවා පාලකයින්ගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබේ. අදූරදර්ශි ආර්ථික කළමනාකරණය හේතුවෙන් දේශීය සම්පත් කුණුකොල්ලයට විකුණා දමන තත්ත්වයක් උද්ගතව ඇති අතර, අරාජික නොවුනු,කඩා නොවැටුණු ක්ශේත්‍රයක් සොයා ගැනීමට පවා නොහැකිය.

    ජනතාවගේ මූලික අවශ්‍යතා වන කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, බේත් හේත්, අධ්‍යාපනය රැකී රක්‍ෂා ආදිය සැපයීමට මේ බංකොලොත් පාලනයට නොහැකි නිසා සමාජ ප‍්‍රශ්න උග‍්‍ර වී තිබේ.

    ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අසමත්ව ඇති මේ අරාජික පාලනය,රාජ්‍ය ත්‍රස්තවාදය සිය ඒකායන පැවැත්ම බවට පරිවර්තනය කොට ගෙන සිටී.

    එවන් තත්ත්වයක් තුළ පක්ෂ පාට බේද අමතක කළ මේ රටේ සමස්ත වැඩ කරන ජනතාව ආණ්ඩුවේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට පැමිණ ඇත්තේ එනිසාය.

    එබැවින් මෙවර කම්කරු දිනය මේ අරාජික ආණ්ඩුව යටතේ සමරනු ලබන අවසාන මැයි දිනය බවට පරිවර්තනය කර ගැනීමටත්, ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලනික වශයෙන් ප්‍රශස්ත සහ දියුණු රටක් බවට අපේ මාතෘ භූමිය ඔසවා තැබීමට හැකි වෙනස වෙනුවෙන් වූ නිදහසේ අරගලය විජයග්‍රහණය කිරීමටත් හැකි ශක්තිය අපේ රටේ සමස්ත පුරවැසියන්ට ලැබේවා.

    සමස්ත වැඩ වැඩකරන ජනතාව දිනේවා!

    සජිත් ප්‍රේමදාස
    විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.