fbpx
තවත්
    මුල් පිටුවspecialරටේ ආර්ථිකයට වැරදුණු තැන් වගේම හදන හැටිත් මහබැංකුව කියයි

    රටේ ආර්ථිකයට වැරදුණු තැන් වගේම හදන හැටිත් මහබැංකුව කියයි

    විදුලිබල හා බලශක්ති ගැටලු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා අමුද්‍රව්‍යවල උග්‍ර හිඟය යනාදියෙන් ආර්ථිකයේ සෑම අංශයකටම ඇතිවන අහිතකර තත්ත්වයන් නිරාකරණය කිරීමට හෝ කල් දැමීමට, ගෙවුණු වසරේදී වරින් වර ගන්නා ලද අසම්පූර්ණ ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති පියවර අසාර්ථක වී ඇති බවත් එමගින් නව ගැටලු නිර්මාණය කර ඇති බව පෙනී යන බවත් ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

    ශ්‍රී ලංකා මහබැංකුව 2021 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ඉතිහාසයේ මෙතෙක් පැවති ඉහළම රාජ්‍ය ණය මට්ටම, රාජ්‍ය මූල්‍ය ශේෂයන් තවදුරටත් දුර්වල වීම සහ අතිශයින් පහළ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් හේතුවෙන්, ආර්ථිකය නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම පිණිස ඉහත දැක් වූ දේශීය ආර්ථික තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා සැලකිය යුතු මැදිහත්වීමක් සිදු කිරීමට රාජ්‍ය මූල්‍ය අංශයට ඇති හැකියාව ඉතා සීමිත බව ද මහබැංකුව පෙන්වා දී ඇත.

    එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ස්ථාවර බව තවදුරටත් පිරිහීම වැළැක්වීමට සහ මිල ස්ථාවරත්වය නැවත ඇති කිරීමට මුදල් ප්‍රතිපත්තිය ඉතා දැඩි කිරීම ආදී ක්‍රියාමාර්ග තුළින් මහ බැංකුව 2022 අප්‍රේල් මස මුල් කාලයේ දී කඩිනම් ක්‍රියාමාර්ග ගත් බව ද මහබැංකුව අවධාරණය කර සිටී.

    මෙම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් දිගුකාලීන වශයෙන් ආර්ථිකයේ සෑම අංශයකටම ප්‍රතිලාභ ලැබෙන පරිදි වූ වර්ධනයක් සඳහා අවශ්‍ය සාධකයක්ව පවතින සැලකිය යුතු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීම ආරම්භ කිරීම මගින් මැදි කාලයේ සිට දිගු කාලීනව සාර්ව ආර්ථික ස්ථායීතාව යළි ඇති කරනු ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

    ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලයේ 72 වැනි වාර්ෂික වාර්තාව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු එම මණ්ඩලය විසින් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතාට අද (29) බාරදී තිබේ. 

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් පිළිබිඹු වන පරිදි 2021 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

    ශ්‍රී ලංකා ආර්ථිකය 2020 වසරේ දී වසංගතයේ බලපෑම හේතුවෙන් සංකෝචනය වීමෙන් අනතුරුව 2021 වසරේ දී යථා තත්ත්වයට පත් වුවද, දශක කිහිපයක් මුළුල්ලේ ගැඹුරින් මුල් බැසගත් ව්‍යුහාත්මක ගැටලු සහ දුර්වලතා කිහිපයක් නැවත ඉස්මතු වීමෙහි ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ මුල් කාලයේ දී පෙර නොවූ ආකාරයේ සමාජ-දේශපාලන අර්බුදයන්ට මුහුණ දුන්නේය. කොවිඩ්-19 වසංගතය සහ ගෝලීය හා දේශීය වශයෙන් ඇති වූ අනෙකුත් විවිධ ආකාරයේ බාධා මගින් ආර්ථිකයට බලපෑම් ඇති වන අවස්ථාව වන විටත්, කම්පනවලට ඔරොත්තු දීමට අවශ්‍ය ස්වාරක්ෂක නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය දුර්වල තත්ත්වයක පැවතුණි. 2019 වසර අවසානයේ දී බදු ව්‍යුහයෙහි සිදු කළ වෙනස්කම් හේතුවෙන් තවදුරටත් සීමා වූ රාජ්‍ය මූල්‍ය අවකාශය, ආර්ථිකයේ එවැනි දුර්වලතාවලට ප්‍රධාන වශයෙන් හේතු විය. ලෝකයේ අනෙකුත් රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද, ආර්ථිකයේ දිගුකල් පවතින පසුබෑම සහ ජීවනෝපායන් කෙරෙහි ඇතිවන බලපෑම් වළක්වාලමින් ආර්ථිකය සුරක්ෂිත කිරීමේ අරමුණු ඇතිව වසංගතයට මුහුණ දීම සඳහා ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීය. කෙසේ වෙතත්, රාජ්‍ය මූල්‍ය අංශයේ ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය අවකාශයක් නොමැතිකම හෝ රාජ්‍ය මූල්‍ය අංශය තුළින් ප්‍රමාණවත් ඉක්මන් මැදිහත් වීම් සිදු නොවීම හේතුවෙන්, ආර්ථිකයේ පවතින විශේෂිත දුර්වලතා සැලකිල්ලට ගනිමින් සුවිශේෂී මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම්, වෙළඳපොළට සහ රජයට ප්‍රමාණවත් ද්‍රවශීලතා සැපයීම් සහ විදේශ හා මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති හරහා ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට දැඩි ලෙස මැදිහත් වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු විය. මහ බැංකුව සහ රජය විසින් ක්‍රියාත්මක කරන ලද අතිශය ලිහිල් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පැකේජය, 2020 වසරේ දී ඉතිහාසගත ලෙස සංකෝචනය වූ ආර්ථිකය, 2021 වසරේ දී යථා තත්ත්වයට පත් වීම සඳහා සහාය සැලසූ අතර, ආර්ථික පාර්ශ්වකරුවන්ගේ විශාල කොටසකට වසංගතය මගින් වූ බලපෑම අවම කිරීමට ද සහාය සැලසුණි. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම කාරක ප්‍රාග්ධන සහ ආයෝජන සඳහා අඩු පිරිවැයක් යටතේ අරමුදල් පහසුකම් සැලසුණු අතර, එමගින් මෙම දුෂ්කර කාලය තුළ අඛණ්ඩ රඳාපැවැත්ම තහවුරු කිරීමටත්, යම් වර්ධනයක් ද සමඟින් කර්මාන්ත ක්‍රියාකාරීව පවත්වා ගැනීමටත් උපකාරී වීම හරහා රාජ්‍ය සේවා, උපයෝගිතා සේවා සහ භාණ්ඩ හා සේවා මහජනතාවට මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් දාමයන් සඳහා අඛණ්ඩව සැපයීම සහතික කළේය.

    කෙසේ වෙතත් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී ගනු ලැබූ පෙර නොවූ ආකාරයේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමඟ, අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය සහය ප්‍රමාණවත් ලෙස නොලැබීම හේතුවෙන් ප්‍රතිපත්ති උත්තේජන ක්‍රියාමාර්ගවලින් බැහැර වීමට පැවති අවකාශ සීමා වීමත් සමඟ 2021 වසරේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව කෙරෙහි අනපේක්ෂිත බලපෑම් ඇති වූ අතර, එම බලපෑම් 2022 වසරේ මුල් කාලයේ දී තවදුරටත් උග්‍ර විය. තවද, දේශීය විදේශ විනිමය වෙළඳපොළේ අඩු ද්‍රවශීලතාව මධ්‍යයේ විනිමය අනුපාතිකය මත ඇති වූ පීඩන 2021 වසරේ දී සහ 2022 මුල් කාලයේ දී තීව්‍ර වීම හමුවේ, විනිමය අනුපාතිකයෙහි සිදු වන විශාල අවප්‍රමාණය වීමක් මගින් සමාජයට අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකි බවට අවධානය යොමු වී තිබුණු පසුබිමක වුවද, වෙළඳපොළ පැවති මට්ටමට සාපේක්ෂව විනිමය අනුපාතිකයේ නිසි ගැළපීමක අවශ්‍යතාවක් ඇති වූ බැවින් 2022 මාර්තු මස මුල් කාලයේ දී එය ක්‍රමානුකූලව සිදු වීමට ඉඩ හැරිණි. කෙසේ වෙතත් ඉන්පසුව, 2022 මාර්තු මස මුල් කාලයේදීම විනිමය අනුපාතිකය නම්‍යශීලිවීමට ඉඩ ලබා දීමෙන් පසුව විනිමය අනුපානිකය නිසි මට්ටම ඉක්මවා විශාල ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට යම් බාධාවක් ඇති වූ අතර එමගින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ පැවති සැලකිය යුතු ද්‍රවශීලතා පීඩන මෙන්ම වෙළඳපොළ නිවැරදි කිරීමේ ප්‍රමාදය පිළිබිඹු විය.

    පසුගිය දශකයකට වැඩි කාලයක් තුළ ආර්ථික ස්ථායීතාව සඳහා සාර්ව ශක්තිමන්ම සාධකය වූ මිල ස්ථායීතාව 2021 වසරේ දෙවන භාගයේ සිට අභියෝගයට ලක්ව ඇති අතර, ඒ සඳහා ගෝලීය හා දේශීය සැපයුම් මත පදනම් වූ හේතු මෙන්ම සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය මධ්‍යයේ පෙර නොවූ පරිදි මහ බැංකුවෙන් ලබා දුන් මූල්‍ය සහාය ඇතුළු සුවිශේෂී මුදල් ලිහිල්කරණයේ පසු බලපෑම මූලික වශයෙන් හේතුකොටගෙන මිල මත අධික ඉල්ලුම් පීඩන ඇති වීමෙහි ඒකාබද්ධ බලපෑම හේතු විය.
    තවද, දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි විශාල වශයෙන් ද්‍රවශීලතාව හිඟයක් පවතින වාතාවරණයක් තුළ අත්‍යවශ්‍ය ආනයන මූල්‍යනය කිරීමේ දැඩි අවශ්‍යතාව මෙන්ම සැලකිය යුතු ණය සේවාකරණ වගකීම හමුවේ ප්‍රමාණවත් නොවන මට්ටමක පැවති නිල සංචිත මගින් පිළිබිඹු වූ ඉහළ යන ගෙවුම් ශේෂ පීඩන හේතුවෙන් 2021 වසර අවසානයේ සිට විදේශීය අංශය දැඩි අවදානම් තත්ත්වයක් ආසන්නයේ පැවතිණි.

    විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ගැටලුකාරි තත්ත්වය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා අමුද්‍රව්‍යවල උග්‍ර හිඟය මෙන්ම ආර්ථිකයේ සෑම අංශයකටම මෙමගින් ඇති විය හැකි බලපෑම් යනාදිය කඩිනමින් නොවිසඳන්නේ නම් එමගින් ආර්ථික කටයුතුවලට විශාල ලෙස බාධා ඇති විය හැකිය. මෙම අහිතකර තත්ත්වයන් නිරාකරණය කිරීමට හෝ කල් දැමීමට වරින් වර ගන්නා ලද අසම්පූර්ණ ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති පියවර අසාර්ථක වී ඇති බව හෝ එමගින් නව ගැටලු නිර්මාණය කර ඇති බව පෙනී යයි. ඉතිහාසයේ මෙතෙක් පැවති ඉහළම රාජ්‍ය ණය මට්ටම, රාජ්‍ය මූල්‍ය ශේෂයන් තවදුරටත් දුර්වල වීම සහ අතිශයින් පහළ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් හේතුවෙන්, ආර්ථිකය නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම පිණිස ඉහත දැක් වූ දේශීය ආර්ථික තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා සැලකිය යුතු මැදිහත්වීමක් සිදු කිරීමට රාජ්‍ය මූල්‍ය අංශයට ඇති හැකියාව ඉතා සීමිතය. එහි ප්‍රතිඵලයක් ලෙස සාර්ව ආර්ථික ස්ථායීතාවය තවදුරටත් පිරිහීම වැළැක්වීමට සහ මිල ස්ථායීතාව නැවත ඇති කිරීමට මුදල් ප්‍රතිපත්තිය ඉතා දැඩි කිරීම ආදී ක්‍රියාමාර්ග තුළින් මහ බැංකුව 2022 අප්‍රේල් මස මුල් කාලයේ දී කඩිනම් ක්‍රියාමාර්ග ගත්තේය. මෙම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් දිගුකාලීන වශයෙන් ආර්ථිකයේ සෑම අංශයකටම ප්‍රතිලාභ ලැබෙන පරිදි වූ වර්ධනයක් සඳහා අවශ්‍ය සාධකයක්ව පවතින සැලකිය යුතු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීම ආරම්භ කිරීම මගින් මැදි කාලයේ සිට දිගු කාලීනව සාර්ව ආර්ථික ස්ථායීතාව යළි ඇති කරනු ඇත.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්තිවලට අනුරූපීව රජය විසින් ද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් මේ මොහොතේ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. දිගු කාලයක් තිස්සේ ප්‍රමාද වූ සහ අතීතයේ බොහෝ විට නැවත හැරවූ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම මගින් වර්තමානයේ පවතින සංකීර්ණ ගැටලුකාරී ආර්ථික තත්ත්වයන්හි පැහැදිලි වෙනසක් ඇති කරනු ඇත. රජයේ ආදායම ඉහළ මට්ටමක් කරා වර්ධනය කිරීම සහ රජයේ වියදම් සීමා කිරීම හා ප්‍රමුඛතා හඳුන්වා දීම මගින් අයවැය හිඟය තිරසාර ලෙස අඩු කිරීම, ඉදිරි කාලයේ දී රජයේ ණය ගැනීම් ප්‍රසාරණය වීම අවම කර ගැනීමට උපකාරී වනු ඇත.

    තවද වත්මන් ආර්ථික ගැටලුව විසඳීමට ගනු ලබන ඕනෑම ඉදිරි පියවරක් සඳහා රාජ්‍ය ණය තිරසාර භාවය සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යෑම සඳහා වන පුළුල් සහ පැහැදිලි ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ. මෙම අත්‍යවශ්‍ය රාජ්‍ය මූල්‍ය වෙනස්කම් සඳහා, අනෙකුත් ක්‍රියාමාර්ග ගන්නා අතරම, රාජ්‍ය යාන්ත්‍රණය තුළ යහපාලනය සහ වගවීමේ යාන්ත්‍රණ ආයතනගත කිරීම, සමස්ත රාජ්‍ය අංශයේ සැලකිය යුතු ලෙස ඵලදායිතා වැඩි දියුණු කිරීම සහ සේවා සැපයීම, මනාව ඉලක්ක කළ සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම සහ පිරිවැය පිළිබිඹු වන මිල ව්‍යුහයන් හඳුන්වා දීම මගින් ඇති වන මූල්‍යමය වශයෙන් ස්වාධීන සහ ස්වායත්ත රජය සතු වාණිජ ව්‍යාපාරවල සහාය ලැබිය යුතුය. රාජ්‍ය ආයතනවල මහජන වගවීම සහතික කිරීම සඳහා නීතිමය රාමු ශක්තිමන් කිරීම අවශ්‍ය වන අතරම, අදාළ බලධාරීන් විසින් ප්‍රතිපත්ති සම්පාදනයේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී පවතින නෛතික බලතල ක්‍රියාත්මක කිරීම මගින් රට තුළ කල්පවත්නා ආර්ථික සුබසාධනයක් සහතික කරනු ඇත. මෙම වෙනස්කම් මගින් පෞද්ගලික අංශයේ ඉහළ සහභාගීත්වය සහතික කෙරෙන අතර, රාජ්‍ය අංශය විසින් ආර්ථිකය තුළ පහසුකම් සපයන්නෙකුගේ භූමිකාව අඛණ්ඩව සිදු කෙරෙනු ඇත. ශ්‍රී ලංකාව දිගු කාලයක් තිස්සේ අත්විඳිනු ලබන ද්විත්ව හිඟය මගින් ගෙවුම් තුලනයේ ගැටලු සඳහා තිරසාර විසඳුම් සෙවීමේ වැදගත්කම අවධාරණය කරයි.

    විදේශීය ජංගම ගිණුමේ හිඟය සහ අයවැය හිඟය කළමනාකරණය කළ හැකි මට්ටමක් දක්වා අඩු කර ගැනීම ඉලක්ක කර ගනිමින් අදාළ පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව සකස් කෙරෙන, වෙනස්වන දේශපාලන පාලන තන්ත්‍රයන්ගේ බලපෑමෙන් නිදහස් ජාතික ප්‍රතිපත්ති, මෙම ප්‍රයත්නයේදී අත්‍යවශ්‍ය වේ. තවද, ගෙවුම් තුලනයේ විදේශීය ණය මූල්‍යකරණය සඳහා වූ අවශ්‍යතාව අඩු කරන අතරම, විදේශ සංචිත ඉහළ නැංවීම සඳහා වෙනත් ණය නොවන විදේශ විනිමය ඉපැයීමේ මූලාශ්‍ර වෙත අවධානය යොමු කළ යුතු වේ. හිතකර ව්‍යාපාරික පරිසරයක් ගොඩනැංවීම සහ විදේශීය සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම ද මෙම විදේශීය අංශය ස්ථායී කිරීමේ වැඩපිළිවෙළට ඇතුළත් විය යුතුය.

    සාර්ව ආර්ථික ස්ථායීතාව, සමාජ සහජීවනය සහ දේශපාලන ස්ථාවරත්වය එකිනෙක හා සම්බන්ධ වී ඇති ආකාරය සහ එක් එක් අංශ මත අනෙක් අංශයෙන් සිදුවන බලපෑම මෑත කාලීනව ශ්‍රී ලංකාව විසින් මුහුණ දෙනු ලබන සිදුවීම්වලින් පෙන්නුම් කරයි. ඒ අනුව, ආර්ථික අස්ථාවරත්වය, සමාජ නොසන්සුන්තාවය සහ දේශපාලන අස්ථාවරත්වය යන දැනට පවත්නා ගැටලු ත්‍රිත්වය සඳහා වන සමස්ත විසඳුම ලෙස ශ්‍රී ලංකා ආර්ථිකය නැවත පණ ගන්වා නව මානයකට ගෙන ඒමට මෙම සියලු අංශ ආවරණය කළ යුතුය. ණය වගකීම් ක්‍රමානුකූලව සහ එකඟතාවයකින් යුතුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් විදේශීය ණය සේවාකරණ ගෙවීම් යම් කාල සීමාවක් සඳහා අත්හිටුවීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආර්ථික ගැළපුම් වැඩ සටහනක් කරා එළැඹීම, රජයේ වියදම් අඩු කිරීම හා රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා කැපවීම සහ නොබැඳි දේශපාලන හා ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම ආදී ආර්ථික ගැටලු විසඳා ගැනීමට දරන අඛණ්ඩ උත්සාහය මගින් ඉදිරි කාලයේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ළඟා කර ගැනීමට අපේක්ෂා කෙරේ. සමාජ සහජීවනය නැවත සහතික කිරීම සහ දේශපාලන ස්ථාවරත්වය නැවත ස්ථාපිත කිරීම මෙන්ම අඛණ්ඩ දේශපාලනික සහයෝගය මත මෙම ප්‍රයත්නවල සමස්ත සාර්ථකත්වය රඳා පවතින අතර, එය මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.